Home Politics News Room : ගෝඨා-රනිල් ආණ්ඩුවෙන් ජාතික රූපවාහිනියට මිලියන 420ක පොල්ලක්

News Room : ගෝඨා-රනිල් ආණ්ඩුවෙන් ජාතික රූපවාහිනියට මිලියන 420ක පොල්ලක්

0
0

රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ජාතික රූපවාහිනිය 2021 සිට 2023 දක්වා කාලය තුළ පැවැති පාලනයන්ට ලබාදුන් සේවාවන්වලට රුපියල් මිලියන 420ක් වැය කර ඇති බවත් අදාළ කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) අනාවරණය කළේය.

ඒ අනුව ජාතික රූපවාහිනිය 2021 වසරේදී පැවැති රජයට රුපියල් මිලියන 122ක‌ සේවාවන් ලබාදී ඇති බවත් 2022 වසරේදී රුපියල් මිලියන 144ක් ද 2023 වසරේදී රුපියල් මිලියන 154ක් ද වශයෙන් සේවාවන් ලබාදී ඇති බව ද ජගත් මනුවර්ණ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන අමාත්‍යාංශවල අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් මනුවර්ණ මහතා මෙසේද පැවසීය.

මිලියන 420ක් වන එම මුදල ලබා දීමට පැවැති ආණ්ඩුව කටයුතු කර නැහැ. මේ ආකාරයට මෙම ආයතන පවත්වාගෙන යෑම අසීරුයි.

කෙසේ වුවද 2024 වනවිට ආණ්ඩුව වෙනුවෙන් සිදුකරන සේවාවන්වලට අදාළව සිදුකරන වැඩවල වටිනාකම මිලියන 52ක් දක්වා අඩු කිරීමට හැකිවී තිබෙනවා.

ලෝක කුසලානයේ ක්‍රිකට් විකාශය අවස්ථාවේදී ජාතික රූපවාහිනිය රුපියල් මිලියන 550ක් ආදායමක් ඉපයූ බවයි. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දරුවන් විසින් ආරම්භ කළ රූපවාහිනි නාළිකාව වෙත ක්‍රිකට්වල සියලු අයිතීන් වෙනුවෙන් බලය පවරාගෙන කටයුතු කළ බැවින් ජාතික රූපවාහිනියට පැවැති එම අවස්ථාව අහිමි වුණා. ජාතික රූපවාහිනිය සතු දේපොළ පවා එම නාළිකාව වෙත රැගෙන ගිය එම පිරිස ජාතික රූපවාහිනිය බංකොලොත් වන තැනට පත් කළා.

එබැවින් මෙම ආයතන තවදුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යා නොහැකියි. මහා භාණ්ඩාගාරයට හෝ මහජනතාවට බරක් වනසේ පවත්වාගෙන යා නොහැකි බැවින් එම ආයතන විසින්ම ආයතන දියුණු කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි.

මේ රටේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙක් එන්නත් වෙනුවට වතුර ගෙනල්ලා ලෙඩ්ඩු මරපු බවට චෝදනා එල්ල වුණා.

වෙද හාමිනේ, දඬුබස්නාමානය වගේ නාට්‍ය නැරඹුවේ අපි ජාතික රූපවාහිනියෙන්. විශේෂයෙන්ම ළමා නාට්‍යයත් එහෙමයි. ජපානය මේ නාළිකාව අපට ලබාදෙනවිටම මෙහි අරමුණම වුණේ අධ්‍යාපනය. නමුත් මේ වෙනකොට ජාතික රූපවාහිනිය ඉතාම නරක තැනකට පත් වෙලා. සාමාන්‍යයෙන් මාසයකට රුපියල් මිලියන හතරක් විතර පාඩුවට තමයි වැඩ කරන්නේ. පසුගිය කාලේ පුරාවටම මහා භාණ්ඩාගාරයෙන් මුදල් දෙමින් මේ ආයතනය නඩත්තු කළා. නමුත් තවදුරටත් ඒ විදිහට වැඩකරන්න බැරි තැනකයි රට තිබෙන්නෙ. මේ ආයතන තුළම තිබෙන දේවල්ම උපයෝගි කරගනිමින් මේ ආයතනය දෙපයින් නඟාසිටුවීම වෙනුවෙන් සැලසුම් සකස් කරන්නට සිදු වෙනවා. මේ ආයතන වසා දමන්නේ නැතිව මහජනතාවට සේවාව ලබා දෙමින් ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නට සිදු වෙනවා.

අපට ලැබෙනවිට මේ ආයතන මෙහෙම වුණාට හිටපු අය මේ ආයතනවලට කරපු දේවල් අපි දක්කා. මේ ආයතන පසුගිය රජයන්වල වැඩ කරලා තිබෙන්නේ නිකං. 2021 දී මිලියන 122 ක වැඩකර දී තිබෙනවා, ආයතනය විසින්. 2022 වසරේදි මිලියන 144ක් 2023 මිලියන 154ක වැඩ කර දී තිබෙනවා. අදාළ ගෙවීම් කර නැහැ. ආයතනයක් මෙහෙම පවත්වාගෙන යන්න බැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here