12
- ජාත්‍යන්තර කාන්තා දිනය – 2025 සමුළුව අමතමින් අගමැතිනිය කියයි
- වට්ටපු රට ගොඩනඟන්න කාන්තාවන් ප්‍රබල ලෙස දායක වෙමින් සිටිනවා – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
“මැතිවරණ ජයග්‍රහණය තුළින් ජාතික ජන බලවේගයට ලැබෙන බලය තුළ රට යහපත් පරිවර්තනයකට ලක්කරමු” යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ප්‍රකාශ කළාය.
ඇය එසේ ප්‍රකාශ කළේ කොළඹදී පැවති ජාතික ජන බලවේගයේ ජාත්‍යන්තර කාන්තා දිනය – 2025 සමුළුවට පෙරේදා (08) සහභාගි වෙමිනි. “පුනරුදයේ කාන්තා සවිය ගොඩනඟමු” යන මැයෙන් මෙය පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේ ද කීවාය.
“අප අවදි කළ බලවේගයේ ප්‍රතිඵල අද අපගේ ඇස් ඉදිරිපිටම පෙනෙනවා. අපට මතකයි පසුගිය වසරක මාර්තු 08 සිදුවූ සිදුවීමක්. එදා අපගේ විරෝධතාවකට ජල ප්‍රහාර එල්ල වුණා. එහි සිටි බොහෝ දෙනෙක් අද පාර්ලිමේන්තුවේ සිටිනවා. කොළඹ නගරාධිපති තනතුරට ව්‍රායි සහෝදරිය පත්කරන්න ඕනෑ.
ලෙහෙසි පහසු ගමනකින් නොවේ අප මෙම තත්ත්වයට පැමිණියේ. අපට විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවුණා. එයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එම ගමන පැමිණීමට ජීවිත දුන් සහෝදරියන් ඉන්නවා. ඔවුන්ව අපට අමතක කරන්න බැහැ. එම ඉතිහාසය අමතක කර අපට අනාගතයක් ගොඩනඟන්න බැහැ.
අප රට වෙනුවෙන් මේ අරගලයේ යෙදෙන්නේ පාර්ලිමේන්තුවට කිහිප දෙනෙක් යවන්න, තනතුරු ලබාගැනීමට නොවේ. අපේ අවසාන ඉලක්කය මෙම සමාජය හරි මඟට පරිවර්තනය කිරීමයි. අදට වඩා ශිෂ්ටසම්පන්න, සහකම්පනය තිබෙන, සාමූහික හැඟීම තිබෙන, කිසිකෙනකු අතහරින්නේ නැති සියලු දෙනාටම ගරුත්වය තිබෙන සුරක්ෂිත සමාජයක් ගොඩනැඟීම අපේ අරමුණයි. ඒ සඳහා අප තවම ළංවෙලා නැහැ. ඒ සඳහා විශාල දුරක් යා යුතුයි. කුමක් වෙනුවෙන් ද බලය සහ තනතුරු ලබාගත්තේ කියා අප කල්පනා කරන්න ඕනෑ.
තනතුරු අපට ආභරණ නොවේ. බලය, උන්මාදයට පත්කරන දෙයක් නොවේ. සමාජ පරිවර්තනය උදෙසායි අප බලය ලබා ගත්තේ. අපට දිනාගන්න බොහෝ දේ තිබෙනවා. එම ගමනේදී අපේ සහෝදරියන් අපට විශාල ශක්තියක්. අපේ සහෝදරියන්ගේ කැපවීම මේ වෙනස ඇති කිරීමට ප්‍රබල ලෙස බලපෑවා. දේශපාලන වෙනස ඇතිවීමට හේතු වුණා.
අප භාරගත් අමාත්‍යාංශවල කුණුගොඩවල් සුද්ධ කිරීමට අපට දැන් සිදුවී තිබෙනවා. ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් යොදවන්න සිදු වෙලා. විකෘති කර තිබෙන ක්‍රමවේද නීති පද්ධතිය අනුව ක්‍රියාත්මක කිරීමට සිදුවී තිබෙනවා. කඩා වැටී තිබෙන සිස්ටම් එක නිවැරදි කීරීම අප මේ වනවිට සිදු කරනවා. නිවැරදි දිසාවකට රට ගෙන යෑමටයි අප ක්‍රියා කරන්නේ. මේ රටේ හිටපු පාලකයන් කර තිබෙන විනාශය දැක්කම අපට පසුගිය පාලනයන් නිසා ඇතිවී තිබෙන ශාපය පිළිබඳව කතා කිරීමට සිදුව තිබෙනවා.
අපේ සහෝදරියන්, අද ඉතිහාසය ලියන ගැහැනුන් බවට පත් වී සිටිනවා. මේ රටේ දිශානතිය වෙනස් කරන කණ්ඩායමක් බවට ඔබ සැම ක්‍රියාත්මක වෙනවා. මේ රටේ ගැහැනු, පුරවැසියන් බවට පත්කරන එක අරගලයේ කොටසක්. කිසිම කලාපයක් තහනම් නොවන සමාජයක් ඇතිකළ යුතුයි. ඒක අපේ ඉලක්කයක්.
ගැහැනුන් නිසා ප්‍රහාර එල්ල නොකරන සමාජයක් අවශ්‍යයි. මෙවැනි දේ දවසකින් දෙකකින් ඇතිකරන්න බැහැ. සියලු දෙනාටම සාමූහිකව ගමනක් යන්න පුළුවන්, කිසිවකු අතාරින්නේ නැති, සියලු දෙනා රැගෙන යන්න පුළුවන් ගමනක් යෑමයි අපේ උත්සාහය. අප කාටවත් හැලෙන්න දෙන්නෙ නැහැ. ඒකයි අපේ දේශපාලනය.
මැතිවරණ දිනා අපට ලැබෙන බලය හරහා රට යහපත් පරිවර්තනයකට ලක්කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා.”
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා-
“ගැහැනු අප එක මිටට කියලා ගමන ආරම්භ කරපු ඔබ සැම අපේම ආණ්ඩුවක් යටතේ අද කාන්තා දිනය සමරනවා. මෙය ජාතික ජන බලවේගෙය් ආණ්ඩුවක් යටතේ පවත්වන පළමු කාන්තා දිනයයි. අපේ අරමුණ අලුත් සමාජයක් නිර්මාණය කිරීමයි. අපට කාන්තා දිනය කියන්නෙ එක දවසක් නොවෙයි. ජාතික ජන බලවේගයට හැම දවසක්ම, හැම පැයක්ම කාන්තාවන්ගේ දිනයක්. අපට කාන්තා දිනය කියන්නේ මාධ්‍ය සංදර්ශනයක් ද නොවේ.
පසුගිය කාලයේ මේ රටේ කාන්තාවන් එකතුවී නිර්මාණය කළ මේ බලවේගය මෙරට බිහිවූ දැවැන්තම කාන්තා බලවේගය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙවැනි බලවේගවල ශක්තීන්ගේ එකතුවෙන් දීර්ඝ කාලයක් මෙරට පාලනය කළ දූෂිත ක්‍රමවේදය වෙනස් කරන්න අපට හැකි වුණා.
අප මේ වනවිට ඡන්ද දෙකක් එකපිට ජයග්‍රහණය කර තිබෙනවා. වට්ටපු රට ගොඩනැඟීමට කාන්තාවන් මේ වන විට ප්‍රබල ලෙස දායක වෙමින් තිබෙනවා. එම කටයුත්ත ලෙහෙසි නැහැ. පහසු නැහැ. එයට විවිධ බාධා පවතිනවා. කුමන බාධක පැමිණියත්, කුමන දුෂ්කරතා පැමිණියත් අප ආපසු හැරෙන්නේ නැහැ. ඒ වගේම අප ආරම්භ කළ ගමන නතර කරන්න කිසිම දුෂ්ඨ බලවේගයකට ඉඩ දෙන්නෙ නැහැ. ලස්සන පොහොසත් රටක් අප නිර්මාණය කරනවා. අප මේ වනවිට ජයග්‍රහණ ගණනාවක් අත්පත් කරගෙන තිබෙනවා.
අගමැති තනතුරට අපේ සහෝදරියක් පත්කර තිබෙනවා. මීට පෙර සිටි අගමැතිවරියන් පැමිණියේ පවුල් පසුබිමින්. හැබැයි වත්මන් අගමැතිවරිය එහෙම නොවෙයි. මහ පොළොවේ වැඩකර ආපු අගමැතිවරියක්. වර්තමානයේ මන්ත්‍රීවරියන් විශාල පිරිසක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සෑම ක්ෂේත්රයකම කාන්තා නියෝජනය ඇති කරන්න අප කටයුතු කරනවා.
ඉදිරියට පැමිණීමට කාන්තාවන්ට තිබූ බාධා ඉවත්කර ඔවුන්ට සම අවස්ථා ලබාදී තිබෙනවා.කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකාව වශයෙන් අප යෝජනා කළේ ව්‍රායි සහෝදරිය. ඉදිරි පළාත් පාලන මැතිවරනයේදී බිම් මට්ටමේ කාන්තා නියෝජනයත් අප වැඩි කරනවා. අප මේ වනවිට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මහ පොළොවට බද්ද වූ එවැනි වැඩසටහන සමඟ කාන්තාවන් විශාල කාර්යභාරයක් කරනවා.
විවිධ දුෂ්ඨ බලවේග ප්‍රකාශ කරනවා මේ ආණ්ඩු දැන් වැටෙයි, දැන් වැටෙයි කියා. මම කියන්නෙ අපේ ආණ්ඩුව තව කල්පයකට පෙරළන්න පුළුවන් ආණ්ඩුවක් නොවෙයි කියලා. ගැහැනු අප එක මිටට ඉන්න තාක් අපව හොල්ලන්න බැහැ. ඒ වග අප ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී පෙන්වන්න ඕනෙ.
අපි ජනාධිපතිවරණයෙන්, මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. ඒ නිසා අපේ සටන ඉවර ද? නැහැ.
පරාජය වූ බලවේග මේක අත්හරින්න සූදානම් නැහැ කියා අප මතක තබාගත යුතුයි. විශාල ලෙස මුදල් එකතු කළ එම දූෂිත බලවේගවලට දැන් ඒවා නැහැ. ඒ සම්බන්ධව ඔවුන් කෝපයෙන් සිටින්නේ. එම තත්ත්වය හේතුවෙන් ඔවුන් උත්සාහ කරන්නෙ වත්මන් ආණ්ඩුව පෙරළා ඔවුන්ගේ නැතිවූ බලය ලබා ගැනීමට. එම දූෂිත බලවේගවලට දැන් නඩු වැටෙන්නත් පටන් අරන්.
යෝෂිත රාජපක්ෂට, නාමල් රාජපක්ෂට, ඩේසි ආච්චිට චෝදනා එල්ල වෙනවා. මේ සියල්ල සිදුවන්නෙ රටේ නීතිය අනුව. රට වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන යහපත් වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැමුන් දරන උත්සාහය පිළිබඳව අප අවබෝධයෙන් ක්‍රියාකරන්න ඕනෑ.
අප භාරගත්තෙ බංකොලොත් රටක්. එහෙම රටක් තමයි අප ස්ථාවරභාවයට පත් කරමින් තිබෙන්නෙ. ජනතාව පිළිබඳව විශ්වාසයෙන් අප කටයුතු කරනවා. පසුගිය කාලයේ බොහෝ පිරිස් උත්සාහ කළේ රට හැරයාමට. දැන් එහෙම නැහැ. චංචාවට, දූෂණයට අප තිත තිබ්බා.
අපේ පාර්ලිමේන්තුවේ ජනාධිපති, අගමැති, මන්ත්‍රීවරු දූෂිතයි කියා කාටවත් කියන්න පුළුවන් ද? ජනාධිපති, අගමැති පැවති වියදම් අඩුකර තිබෙනවා. හැබැයි අප අස්වැසුම වැඩි කළා. පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට සහයෝගය ලබා දුන්නා. ආබාධිත පුද්ගලයන්ට දෙන දීමනා වැඩි කළා.
මෙවර ඉතා හොඳ අය – වැයක් අප ඉදිරිපත් කළා. එය දිගුකාලීන අරමුණු සහිත අය – වැයක්. නාස්තිය නැති කරමින් අලුත් දේශපාලනයක් අප මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙම තත්ත්ව ඉවසන් බැරිව තමයි පරාජයට පත්වූ දූෂිත බලවේග අපේ වැඩපිළිවෙළ කඩාකප්පල් කරමින්, බොරු ප්‍රචාරය කරමින් ඉන්නේ.
වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්ම තමයි. බලය ගත් ලෙසම එය රැකගැනීමටත් අප සැම එක මිටට එකතු විය යුතුයි. අපේ කාර්යභාරය පටන් ගත්තා විතරයි. අප ප්‍රතිඵල භුක්ති විඳින කණ්ඩායමක් නොව ප්‍රතිඵල නිර්මාණය කරන කණ්ඩායමක් බවට පත්වෙන්න ඕනෑ.
ඉදිරි දශක කිහිපය තුළ මේ රට පාලනය කරන්නෙ මාලිමාව කියා කුමන්ත්රණකරුවන්ට පෙන්වා දිය යුතුයි. අප සැමට සාධාරණව නීතිය ක්‍රියාත්මක කරනවා. දේශපාලන බලය මත අපරාධකරුවන්ට දැන් ගැලවෙන්න බැහැ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මෙරට සියලුම පළාත් පාලන ආයතනවලින් මාලිමාව ජයග්‍රහණය කරවමු. ඒ සඳහා ගමින් ගමට ගමන් කරමු. මෙම කාර්යයයේදී අපේ සහෝදරියන්ට විශාල කාර්යභාරයක් පැවරෙනවා. ඉදිරි මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කරමු.
මේ වනවිට වට්ටපු රට ගොඩනැඟීමේ වගකීම අප භාර අරගෙන තිබෙනවා. රට ගොඩනැඟීමේ කටයුත්ත අප ජයග්‍රහණය කරනවා.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීනී අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ විධායක සභික, කොළඹ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්, එහි විධායක සභිකයන්, කලාකාරිනියෝ ඇතුළු විශාල මෙම අවස්ථාවට පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප- සුදත් නිශාන්ත
උපාලි කරුණාරත්න සහ මුල්ලේරියාව සිරිසේන ගමගේ, මැද කොළඹ සමූහ ආරියරත්න ගනේගොඩ