15
වත්මන් පාකිස්තාන කණ්ඩායම ඉන්දියාවේ ‘බී’ කණ්ඩායම යොදවා පරාජය කළ හැකි යැයි හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු සහ විචාරකයකු වන සුනිල් ගවස්කාර් මහතා පැවසීමත් සමඟ පාකිස්තානය පැත්තෙන් දැවැන්ත වාග් ප්‍රහාර එල්ලවීමට පටන්ගෙන තිබේ.
හිටපු පාකිස්තාන ප්‍රබල පිතිකරුවකු හා නායකයකු වූ ඉන්සමාම් උල් හක් පවසන්නේ කෙනෙකුගේ රට ගැන කතා කරන විට, අවබෝධයෙන් කතා කළ යුතු බවත්, වචන භාවිතාවේදී ප්‍රවේශම් වන ලෙස අවවාද කරන බවත්ය.
“ඉන්දීය කණ්ඩායම හොඳින් ක්‍රීඩා කළා. ඔබේ කණ්ඩායමට ප්‍රශංසා කිරීමට ඔබට අයිතියක් තියෙනවා. නමුත් අනෙක් පාර්ශ්වය ගැන එවැනි අදහසක් දැක්වීම සුදුසුද? ඔබ වචන තේරීමේදී ප්‍රවේශම් වන්න. මම මේ දේවල් ටිකක් තදින් කියනවා.” ගවස්කාර්ට අවවාද කර ඔහුගේ කෝපය පාලනය කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.
කණ්ඩායම් දෙකෙහිම අතීත සංඛ්‍යාලේඛන දෙස බලන ලෙස ද ඉන්සමාම් ගවස්කාර්ගෙන් ඉල්ලා සිටියේය. එම සංඛ්‍යා ලේඛනවලින් පාකිස්තානය ඉදිරියෙන් සිටී. කණ්ඩායම් දෙක 136 වතාවක් එකිනෙකාට මුහුණදී ඇති අතර, ඉන්දියාව ජයග්‍රහණ 58ක් ලබා ඇති විට, පාකිස්තානය තරග 73ක් ජයග්‍රහණය කර ඇත. ඉන්සමාම් ගවස්කාර්ට ඒ බව මතක් කළේය.
චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ඉන්දියාව විසින් පාකිස්තානය පරාජය කළ අතර, තරගයෙන් පසු ස්පෝර්ට්ස් ටුඩේ වෙත අදහස් දක්වමින් ගවස්කාර් පැවසුවේ පාකිස්තානයේ වත්මන් කණ්ඩායමේ ශක්තිය සමඟින්, ඉන්දියාවේ ‘බී’ කණ්ඩායම පරාජය කිරීම පවා ඔවුන්ට අපහසු වනු ඇති බවයි.
ප්‍රින්ස් ගුණසේකර