9
ප්‍රබල සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 39-20කින් පරාජය කළ මහනුවර ක්‍රීඩා සමාජය තරගයක් ඉතිරිව තිබියදීම අන්තර් සමාජ ලීග් රග්බි ශූරතාව දිනා ගැනීමට සමත් විය.
දශක දෙකකට වැඩි කාලයක් මෙරට රග්බි පිටියේ ආධිපත්‍ය පතුරුවාලමින් සිටින මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අත්කර ගනු ලැබුවේ සිය 24 වැනි ලීග් ශූරතාව වන අතර, පෙරේදා නිත්තවෙල ක්‍රීඩාංගණයේදී සීආර් පිලට එරෙහිව පැවති කුසලාන වටයේ තරගය ජය ගැනීමත් සමඟ අපරාජිතව ශූරතාවට හිමිකම් කීවේ පසුගිය වසරේ සීආර් පිල හමුවේ ශූරතාව ගිලිහී යෑමේ වාඩුව ද පිරිමසා ගනිමිනි.
පෙරේදා තරගයේ පළමු භාගය අවසන් වනවිට ලකුණු 22-13කින් පෙරමුණ ගත් මහනුවර ක්‍රීඩකයෝ තරගය පුරා ගෝල් 4ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් වාර්තා කළ අතර, සීආර් පිලේ ලකුණු සංඛ්‍යාවට එක්වූයේ ගෝල් 2ක් සහ දඬුවම් පහර 2ක් පමණි. මේ ජයග්‍රහණයත් සමඟ මහනුවර පිල කුසලාන වටයේ තවදුරටත් අපරාජිතව පෙරමුණේ පසුවන අතර, කුසලාන වටය අවසන් කරමින් ලබන සති අන්තයේ හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ තරග වැදීමට නියමිතය.
මේ අතර කුසලාන වටයේම ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් පිටියේ පැවති තරගය ලකුණු 40-22කින් ජයගත් හැව්ලොක් ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන අත්කර ගත්තේය තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 19-17ක සියුම් පරතරයකින් ඉදිරියෙන් සිටි හැව්ලොක් පිල තරගය පුරා ගෝල් 5ක් සහ උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වූ අතර, ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට එක්වූයේ ගෝලයක් සහ උත්සාහක දිනුම් 3ක් පමණි.
පළඟ ශුරතා තරග වටයේ පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර එදිනම පස්වරුවේ පොලිස් පිටියේ පැවැති තරගයෙන් ලකුණු 67-19ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පොලිස් පිල සමත් විය. නාවික හමුදා පිල දැඩි පීඩනයකට ඇද දැමූ පොලිස් ක්‍රීඩකයෝ උත්සාහක දිනුම් 11ක් තැබීමට සමත් වූහ. ඉන් උත්සාහක දිනුම් 6ක්ම ගෝල බවට පත් විය. නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 2ක් සහ උත්සාහක දිනුමක් ඇතුළත් විය. තරගයේ පළමු භාගය නිමා වනවිට පොලිස් පිල ලකුණු 33-12කින් පෙරමුණ ගත්තේය.
මෙවර සති අන්තයේ තරග ආරම්භ කරමින් පසුගියදා සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර පළඟ ශූරතා වටයේ තරගයේදී ලකුණු 33-7කින් යුද හමුදා පිල පරාජය කිරීමට සීඑච් පිල සමත් විය. පනාගොඩ පැවැති මේ තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 26-7කින් පෙරමුණ ගත් සීඑච් පිල තරගය පුරා ගෝල් 4ක් සහ උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, යුද හමුදා පිලට රැස් කිරීමට හැකි වුයේ ගෝලයක් පමණි.
ෆවුස් මොහොමඩ්