Home Politics News Room : පොලී­සිය සමඟ ඔට්ටු සෙල්ලම් කිරීම

News Room : පොලී­සිය සමඟ ඔට්ටු සෙල්ලම් කිරීම

0
0

‘හැංගි­මුත්තො හැංගියෝ…
නොපෙ­නෙන තැනක හැංගියෝ…’
‘අත්තා­පල් මුත්තා­පල් මා අල්ල­න්නට බැරියෝ
අත්තා­පල් මුත්තා­පල් රෑ වන තුරු අල්ලා­පන්
අත්තා­පල් මුත්තා­පල් රෑන­ගලේ ගල කෙටු­වත්
මා අල්ල­න්නට බැරියෝ…’

හත දැක්වෙන ජන කවිය කුඩා දරු­වන්ගේ ‘ඔට්ටු සෙල්ලම’ නමැති ළමා ජන ක්‍රීඩා­වට අදාළ එකකි. කුඩා කල අප විසින් කරන ලද තවත් ක්‍රීඩා­වක අන්ත­ර්ගත වූයේ එකකු පසු­පස දුව­ගොස් ඔහු අල්ලා ගැනීම ය. ‘හැංගි­මු­ත්තන්’ සෙල්ල­මේදී සිදු­වූයේ එක් අයකු විසින් සැඟ­වුණු අනෙක් අය සොයා ගැනී­මයි. එහිදී සැඟ­වුණු අය තමන් සැඟවී ‘ඔට්ටුයි’ කියා කීමෙන් පසු, සැඟ­වුණු අය සොයා යෑම ඇරඹේ.

‘හොරා පොලිස්’ සෙල්ල­මේදී සිදු වූයේ තුණ්ඩු­වල ‘හොරා’, ‘පොලිස්’, ‘පියන්’ යන නාම­ක­ර­ණ­යන් ලියා ‘පොලී­සිය’ යන තුණ්ඩුව ලැබූ කෙනා විසින් හොරා සොයා ගැනී­මයි. එහිදී පොලී­සිය ඉදි­රි­පි­ටම සොරා සිටි නමුත් උප­ක­ල්පිත අද­හ­සක් මඟින් සොරා අල්ලා ගැනීම සිදු වේ.

ඉහත ළමා ජන ­ක්‍රීඩා සියල්ල යළි සිහි­පත් කිරී­මට සිදු­වූයේ වර්ත­මා­නයේ පොලී­සිය සමඟ ‘හැංගි­මුත්තං’ සෙල්ලම් කරන සිදු­වීම් කිහි­ප­යක් පිළි­බඳ ප්‍රවෘත්ති කියවා ගැනී­මෙන් අන­තු­රුව ය; එනම්, අත්අ­ඩං­ගු­වට ගැනී­මට අව­ශ්‍යව සිටින කිහිප දෙනකු පොලී­සිය මඟ­හැර ‘හැංගි­මුත්තං’ සෙල්ලම් කිරීම පිළි­බඳ අස­න්නට ලැබීම හේතු­වෙනි.

වැඩ තහ­න­මට ලක් වූ පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් වැලි­ගම වෙඩි තැබීමේ සිද්ධි­ය­කට සම්බ­න්ධව අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයනු ලැබේ. ඔහු තව­මත් අතු­රු­දන් ය. ගණේ­මුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැක­කා­රි­යක වූ ඉෂාරා සෙව්වන්දි නමැ­ත්තිය ද තව­මත් ආගිය අතක් නැත. කිරි­බ­ත්ගොඩ නග­රයේ රජයේ ඉඩම් හොර ඔප්පු හදා විකි­ණීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොහො­ට්ටුවේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණ­වීර ද අත්අ­ඩං­ගු­වට ගැනී­මට සොයන නමුදු ඔහු ද සොයා ගැනීමට නැත.

මේ අත­රින් ඉෂාරා සෙව්වන්දි හැරු­ණු­කොට දේශ­බන්දු තෙන්න­කෝන් සහ ප්‍රසන්න රණ­වීර යනු මෙරට සුවි­ශේෂ චරිත දෙකකි.

දේශ­බන්දු තෙන්න­කෝන් යනු මෙරට පොලී­සියේ පොලි­ස්ප­ති­ව­ර­යෙකි; එනම්: නීතිය හා සාමය ක්‍රියා­ත්මක කර­වීම පිළි­බඳ ආය­ත­නයේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කළ අයෙකි. එසේ­නම් ඔහුට රටේ නීතිය හා සාමය ක්‍රියා­ත්මක කර­වීම පිළි­බඳ මනා පළ­පු­රු­ද්දක් හා අව­බෝ­ධ­යක් තිබිය යුතුය. ඔහු පොලි­ස්පති ධුර­යට පත්වී­මෙන් අන­තු­රුව රට පුරා ක්‍රියා­ත්මක කරන ලද ‘යුක්තිය’ මෙහෙ­යුම මඟ­හැර සිටින අප­රා­ධ­ක­රු­වන්ට ඔහු දුන් නියෝ­ගයේ සහ ප්‍රකා­ශයේ සඳ­හන් වූයේ කවර තරා­ති­ර­මක අය­කුට වුව ද නීතිය ක්‍රියා­ත්මක කිරී­මට බාධා­වක් නැති බවයි. එසේ නම් කල­කට පෙර පොලි­ස්පති ධුරයේ කට­යුතු කර­මින් සිටි­යදී දේශ­බන්දු තෙන්න­කෝන් විසින් කරන ලද ප්‍රකා­ශය දැන් සැඟවී සිටින දේශ­බ­න්දුට ද එලෙ­සම අදාළ ය.

ප්‍රසන්න රණ­වීර යනු මෙරට ව්‍යව­ස්ථා­දා­ය­කය නියෝ­ජ­නය කළ මන්ත්‍රී­ව­ර­යෙකි. ව්‍යව­ස්ථා­දා­ය­කය යනු නීති සම්පා­ද­නය කරන ආය­ත­න­යයි. එසේ­නම් ඒ ආය­ත­නය නියෝ­ජ­නය කළ අය­කුට රටේ නීතිය හා සාමය ක්‍රියා­ත්මක වන ආකා­රය පිළි­බඳ අව­බෝ­ධ­යක් තිබිය යුතුය. එහෙ­යින් තමාට එරෙ­හිව චෝද­නා­වක් ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියා­ත්මක කරන ලෙස ඉල්ලා සිටීම හරි­හ­මන් අධ්‍යා­ප­න­යක් ලැබූ දේශ­පා­ල­න­ඥ­යකු සතු සමාජ වග­කී­මකි. එසේ නොවන්නේ නම් ඔහු ‘මැටි’ ඇමැ­ති­ය­කුම විනා අන් කව­රෙක් ද?

මේ පිළි­බඳ අද­හස් දක්ව­මින් මහ­ජන ආර­ක්ෂාව පිළි­බඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වට­ගල මහතා සඳ­හන් කළේ, අත්අ­ඩං­ගු­වට ගැනී­මට සිටින යම් කිසි­වකු නීතිය මඟ­හ­රි­මින් සැඟවී සිටින්නේ නම්, ඔහුගේ නිශ්චල හා චංචල දේපළ රාජ සන්තක කිරී­මට නීති ප්‍රති­පා­දන තිබෙන බවයි.

මීට පෙර රිෂාඩ් බදි­යු­දීන් නමැති හිටපු ඇමැ­ති­ව­රයා ද මේ ආකා­ර­යට සැඟවී සිටි ආකා­රය අපට මතක ය. එප­ම­ණක් නොව, පාතාල නාය­ක­යන් ද, තවත් විවිධ සමාජ, දේශ­පා­ල­නික බලය ඇති දේශ­පා­ල­ක­යන් සහ ඔවුන්ට සම්බන්ධ අය ද මේ ආකා­ර­යට පොලී­සිය සමඟ කට්ටි පනි­මින් සිටි බවට ඉති­හා­සය සාක්ෂි දරයි. මීට අම­ත­රව, ශ්‍රී ලංකාවේ වරෙ­න්තු­ක­රුවෝ සහ රතු වරෙ­න්තු­ක­රුවෝ ගණ­නා­වක් ද තව­මත් පොලිස් අත්අ­ඩං­ගු­වට පත්නොවී, මෙරට හෝ විදේ­ශ­යන්හි සැඟවී සිටිති. අර්ජුන් මහේ­න්ද්‍රන් යනු ද එවැ­න්නෙකි.

කෙසේ නමුත් ඉහත සිදු­වී­ම්ව­ලින් නිරූ­ප­ණය වන්නේ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ නොහැ­කි­යාව යැයි එක්වර අර්ථ­ක­ථ­නය කිරී­මට තරම් අපි කල­බල නොවෙමු. ශ්‍රී ලංකාවේ පොලී­සිය ස්වකීය උප­රිම ශක්තිය සහ ධාරි­තාව යොදවා, දරුණු ගණයේ අප­රා­ධ­ක­රු­වන් රැසක් අත්අ­ඩං­ගු­වට ගෙන නීතිය හමු­වට පමු­ණුවා ඇති බව අපි ඉතා හොඳින් දනිමු.

ශ්‍රී ලංකාවේ පොලී­සිය නැති­නම් පොලිස් බළ­කාය භෞමික කොට්ඨාස 43කින්, ක්‍රියා­කාරී කොට්ඨාස 67කින් හා පොලිස් ස්ථාන 432කින් සම­න්විත දෙපා­ර්ත­මේ­න්තු­වකි. ආසන්න වශ­යෙන් ගත­හොත් 85,000කට අධික පොලිස් නිල­ධා­රීන් පිරි­සක් එහි අන්ත­ර්ගත ය.

එසේ­නම් කවර හෝ තත්ත්ව­යක් යටතේ පොලී­සිය සමඟ කට්ටි පැනීම කළ හැකි දෙයක් නොවේ. ඒ අතර, මීට පෙර එලෙස කට්ටි පැන්න දූෂි­ත­යන්ට සහ වරෙ­න්තු­ක­රු­වන්ට දේශ­පා­ල­නික ආශී­ර්වා­දය තිබුණ ද වර්ත­මා­නයේ එවැ­න්නක් නොවන හෙයින් මොවුන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට වෙනත් කිසිදු බාධා­වක් ද නැත.

එබැ­වින් වර්ත­මා­නයේ අවශ්‍ය වී ඇත්තේ නීතිය ක්‍රියා­ත්මක කර­වී­මට අවශ්‍ය සමාජ වට­පි­ටාව නිර්මා­ණය කර­වී­මයි. කවර තරා­ති­ර­මක අය­කුට වුව ද නීතිය ක්‍රියා­ත්මක කිරී­මට අවශ්‍ය නීති­මය ප්‍රති­පා­දන හා සමාජ පෞරු­ෂය, පොලී­සි­යට නිර්මා­ණය කර දීම එහිදී අත්‍ය­වශ්‍ය ය. මේ අනුව නීතිය ක්‍රියා­ත්මක කිරී­මේදී සුවි­ශේෂ වර­ප්‍ර­සා­ද­ලා­භීන් කිසි­වකු සිටිය නොහැකි ය.

නීතිය යනු නීති­යම ය. එය දේශ­බ­න්දුට හෝ ප්‍රසන්න රණ­වී­රට හෝ අර්ජුන් මහේ­න්ද්‍රන්ට හෝ පම­ණක් නොව, ඉෂාරා සෙව්ව­න්දිට ද එක හා සමාන ය. රටේ ඉහ­ළම ශ්‍රේණියේ පුර­වැ­සි­යාගේ සිට පහ­ළම සමාජ ස්තරයේ දුප්පත්, පීඩිත ගැමි­යාට ද නීතිය එක හා සමාන විය යුතුය.

එවන් වූ සාධා­රණ නීති ක්‍රම­යක්, පරි­පා­ලන ව්‍යුහ­යක්, බල ධුරා­ව­ලි­යක් ස්ථාපිත වීම අත්‍ය­වශ්‍ය ය. මහ­ජන ආර­ක්ෂාව පිළි­බඳ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යාගේ ප්‍රකා­ශ­යෙන් ඒ පිළි­බඳ සුබ­වාදී බලා­පො­රොත්තු ඇති කර­ග­ත­හැකි වට­පි­ටා­වක් පිළි­බඳ අපේක්‍ෂා තබා­ගත හැකි ය.

එවැනි තත්ත්ව­ය­කදී කිසි­ව­කුට හෝ නීතිය සමඟ සෙල්ලම් කිරී­මට, කට්ටි පැනී­මට, ඔට්ටු සෙල්ලම් කිරී­මට, හැංගි­මුත්තං සෙල්ලම් කිරී­මට ඉඩ­ ප්‍රස්තා නොලැ­බෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here