9
මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධාන කළ මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ අත්කරදුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.
මීගමුව වෙරළ උද්‍යාන බීච් වොලිබෝල් ක්‍රීඩාංගණයේ පැවති මධ්‍යම ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අනුශූරතා දිනාගත් අතර, කාන්තා තෙවැනි ස්ථානය ද ශ්‍රී ලංකාවට හිමි විය.
මෙහිදී පිරිමි අනුශූරතාව දිනූ කණ්ඩායමට දිලීප චාමික සහ මලිත් දිල්ෂාන්, කාන්තා අනුශූරතා කණ්ඩායමට දීපිකා බණ්ඩාර සහ කසුනි තාරුකා ඇතුළත් වූ අතර, ඔවුන්ට රුපියල් ලක්ෂය බැගින් පිරිනැමිණි. තෙවැනි ස්ථානය දිනූ පිලට චතුරිකා මධුෂානි සහ ෂෙහානි අසංගාට රුපියල් 50,000 බැගින් පිරිනැමූ අතර, පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ඉන්දික ටිරෝන් ජයතිලක, කාන්තා කණ්ඩායමේ පුහුණුකරු තක්ෂිලා ගුණසිංහට රුපියල් 60,000 බැගින් ද එම කණ්ඩායම්වල සම්භාහක ලෙස කටයුතු කළ එච්.සී.පී සමීරට රුපියල් 40,000ක් ද ප්‍රදානය කළේය.
එම කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්මාල් කරුණානායක සහ කළමනාකරුවන් වන ධනපාල ජයපත්ම සහ සජිත් නන්දසිරි මහත්ම මහත්මිහු ද මෙහිදී ඇගයීමට ලක් වූහ.
සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ ඇගයීම් උලෙළ සඳහා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක, එම සම්මේලනයේ භාණ්ඩාගාරික තුෂාර පෙරේරා, උප සභාපතිවරුන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සහ කොමදෝරු සිල්වා මහත්වරු සමඟ ජාතික ක්‍රීඩා කවුන්සිලියේ සාමාජික සී. රත්නමුදලි, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සිසිර වැල්ලේගෙදර, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වොලිබෝල් සම්බන්ධීකරණ නිලධාරිනි රංගිකා මහවත්ත මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.