5
කෘෂි කර්මාන්තයේ දියුණුව සඳහා විපක්ෂයේ අදහස් ද ලබාගෙන සැලසුම් සකස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (12) පැවසීය.
මෙම විවාදය තුළදී උත්තර දිය නොහැකි ගැටලු ඉදිරිපත් වුවහොත්, හැන්සාඩ්ගත වන එම ගැටලු අධ්‍යයනය කර කෘෂි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
අයවැය තෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
අමාත්‍යාංශ ගණනාවක් යටතේ තිබී බෙදී විසිරී ගිය කෘෂිකර්මය එක් අමාත්‍යාංශයක් ලෙස නම් කිරීම ගැන ජනාධිපතිවරයාට මම ස්තුතිවන්ත වෙනවා. යල මහ දෙකම දුක් විඳිමින් රටේ ජනතාවට ආහාර ටික ලබාදුන් ගොවි ජනතාව ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අඩුපාඩු තිබෙනවා. අකාර්යක්ෂමතා තිබෙනවා. ඒවා නිවැරදි කර ගැනීමේ අධිෂ්ඨානයක් අපට තිබෙනවා. අතීතයට දොස් පැවරීමට මම හිතන්නෙ නැහැ. රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය සඳහා මගේ මේ අමාත්‍යාංශය මෙහෙය වීම තමයි මගේ වගකීම වන්නේ. පශු සම්පත් ක්ෂේත්‍රය තුළ සිටින අයත් මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා. පශු වෛද්‍යවරුන් නැති තරම්. මේ ක්ෂේත්‍රය තුළ පුරප්පාඩු රැසක් තිබෙනවා. මෑත කාලයේ සූකර උණ කියලා රෝගයක් පැමිණියා. ඒ අවස්ථාවේ මේ පුරප්පාඩු හොඳින් දැක ගන්න පුළුවන්. පශු සම්පත් ක්ෂේත්‍රයේ පුරප්පාඩු ඉතා ඉක්මනින් පිරවීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා මුදල් වෙන් කර තිබෙනවා. වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රය ද විශාල රුකුලක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ දී දැවැන්ත සහල් හිඟයක් ඇති වුණා. වසන්ත සමරසිංහ මහතා දැවැන්ත මැදිහත් වීමක් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට සහල් හිඟය නැති කර තිබෙනවා. විදෙස් රටවලින් සහල් ගෙන්වීමට සිදු වුණා. හැකි තරම් රට තුළ නිෂ්පාදනය කළ හැකි දේවල් මුළුමණින්ම නිෂ්පාදනය කෙරෙහි තමයි අපේ අවධානය යොමු කර තිබෙන්නේ. අපට දැන් ජලය තිබෙනවා. ඒ නිසා යල කන්නය ඉක්මන් කර වගා කරන්න අපි හිතුවා. ඒ වෙනුවෙන් මැදිහත් වීම් දැන් කරනවා. මේ ආයතනවල නිලධාරීන් විශාල කාර්යභාරයක් සිදු කරනවා. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා.
වී ගොවියන්ට නිෂ්පාදනයට වැය වන මුදලට වඩා වැඩි මුදලක් ගොවිතැනෙන් නොලැබෙන්නේ නම් ගොවියා ගොවිතැන් අතහරිනවා. වී සඳහා සහතික මිලක් අපි තීරණය කළේ නැහැ. නියම කළ මිල ඇතුළත්ව පිරිවැයට සියයට 30ක් එකතු කළා. ඒ නිසා වී ගොවියා ජය ගත්තා. ඒ සඳහා අපි උපක්‍රම උපාය මාර්ග භාවිතා කළා. බඩඉරිඟු මිෙලත් ගොවියාට සාධාරණ විදියට මිල තීරණය වුණා. ඒ නිසා ගෙවුණු කාලය තුළ තමන්ට පාඩුයි කියලා වචනයක් ඇහුණේ නැහැ. ඒ සඳහා මැදිහත් වූ සියලුදෙනා ගෞරවයෙන් මතක් කරනවා. සහල් ප්‍රශ්නය පැමිණි අවස්ථාවේ සංඛ්‍යා ලේඛන දත්තවල ගැටලුවක් තිබෙන බවට ප්‍රකාශ වුණා. කෙසේ වෙතත් ඒ දත්ත මත පදනම්ව තමයි අපිට වැඩ කරන්න වෙන්නේ. දත්ත සියයට සියයක් නිවැරදි නොවුණත් ආසන්න ලෙස නිවැරදියි. ප්‍රමාණවත් වී නිෂ්පාදනයක් තිබෙන බවට ප්‍රකාශ වුණා. අතිරික්තයක් හදා ගැනීමට අපි උත්සාහ කරනවා. එවිට අපට ප්‍රමණවත් ප්‍රමාණය සකස් කරගත හැකියි. ඇතැම් නිෂ්පාදනවලට සහල් ලබා නොගන්නා ලෙස මතයක් තිබෙනවා. සහල්වලින් අතුරු නිෂ්පාදන සිදු කරනවා නම් හොඳයි. එවිට අගයක් එකතු වෙනවා.