Home Sport News Room : ජාතික රට හරහා දිවීමේ තරග හෙට නුවරඑළියේදී

News Room : ජාතික රට හරහා දිවීමේ තරග හෙට නුවරඑළියේදී

0
0

ජාතික මහා ක්‍රීඩා උලෙළ ආරම්භ කරමින් නෙස්ලේ නෙස්ටමෝල්ට් ජාතික රට හරහා දිවීමේ පිරිමි හා කාන්තා තරග හෙට (15) නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන රට හරහා දිවීමේ තරගය කිලෝමීටර් 10ක දුරක් පැවැත්වෙන අතර, පළාත් නවය නියෝජනය කරමින් එක් පළාතකින් ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවෝ 6ක් බැගින් සහභාගි වෙති.

දීප ව්‍යාප්තව විසිරී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලියාපදිංචි කටයුතු අද දින පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා නුවරඑළිය මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකෙරෙන අතර, තරග හෙට පෙරවරු 9ට ආරම්භ කෙරේ.

රට පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කරවා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, පළාත් මට්ටමින් තරග පවත්වා ජාතික මහා ක්‍රීඩා උලෙළ දක්වා අදියර හතරක් යටතේ තරග පවත්වනු ලැබේ.

රට හරහා දිවීමේ ජයග්‍රාහකයන්ට නෙස්ටමෝල්ට් වෙතින් මුදල් ත්‍යාග පිරිනමනු ලබන අතර, පළමු ස්ථානයට රු. 50,000ක්, දෙවැනි ස්ථානයට රු. 40,000ක් සහ තෙවැනි ස්ථානයට රු. 30,000ක් හිමි වේ. තවද, ඉහළම 10 දෙනා අතරට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.

පසුගිය වසරේ නුවරඑළියේදී පැවති රට හරහා දිවීමේ පිරිමි තරගයේ ජය බස්නාහිර පළාතේ ආර්.එම්.එස්. පුෂ්පකුමාර දිනාගත් අතර, කාන්තා අංශයේ ජයග්‍රහණය මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්. හේරත් දිනා ගත්තාය. එම ත්‍යාග ප්‍රදානෝත්සවයේදී හිටපු රට හරහා දිවීමේ ශූරයන් දෙදෙනකු වූ දකුණු ආසියාතික පදක්කම්ලාභී ලයනල් සමරජීව සහ ආසියා රට හරහා දිවීමේ ජයග්‍රාහක කේතන් චන්ද්‍රදාස් යන මහත්වරුන්ට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා විසින් උපහාර තිළිණ ප්‍රදානය කිරීමක් ද සිදු කෙරුණු අතර, එම හිටපු ශූරයන් ඇගැයීම බොහෝ දෙනකුගේ ප්‍රසාදයට හේතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here