13
නවසීලන්ත භූමියේදී සිය පළමු විස්සයි20 ජය වාර්තා කිරීමෙන් පසු ඊයේ දෙවැනි තරගයට එක්වූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කිරීමට නවසීලන්ත පිලට හැකි විය.
මේ ජය සමඟ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-1ක් ලෙස සම කර ගැනීමට ද නවසීලන්ත කාන්තාවෝ සමත් වූහ.
ඊයේ ක්රයිස්චර්ච්හිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ලකුණු 113කින් නතර කළ නවසීලන්ත පිල කඩුලු 3ක් දැවී තිබියදී ජය හිමිකර ගත්තේ පන්දු 9ක් ද ඉතිරිව තිබියදීය.
නායිකා සුසී බෙට්ස් පන්දු 46කින් ලකුණු 47ක් සහ බෲක් හැලිඩේ නොදැවී ලකුණු 46ක් රැස් කරමින් නවසීලන්ත ජය තහවුරු කළ අතර, පන්දු යැවීමේදී අචිනි කෞෂල්‍යා, සුගන්දිකා කුමාරි සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුල්ලක් බැඟින් දවා ගත්හ.
පන්දු 32කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 35ක් රැස්කරමින් මනුදි නානායක්කාර ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. නායිකා චමරි අතපත්තු ලකුණු 23ක් සහ නිලක්ෂිකා ද සිල්වා ලකුණු 20ක් ඉනිමට එක්කළහ. පන්දු යැවීමේදී බ්‍රී ඉලිං සහ ජෙස් කර් කඩුලු 2 බැඟින් දවාගත්හ.
මේ අතර තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 7කිනි. එය ශ්‍රී ලංකා කාන්තා පිල නවසීලන්තය පරාජය කළ දෙවැනි අවස්ථාව වූ අතර, නවසීලන්තයේදී වාර්තා කළ පළමු විස්සයි20 ජය ලෙස වාර්තා අතරට එක් විය.
දෙපිල අතර තරගාවලියේ ජය තීරණය වන තීරණාත්මක තෙවැනි සහ අවසන් තරගය හෙට (18) මෙරට වේලාවෙන් අලුයම 2.45ට ඩුනේඩීන්හිදී පැවැත්වේ. මේ තරගය ජය ගනිමින් චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා පිලට නවසීලන්තයට එරෙහිව පළමු විස්සයි20 තරගාවලි ජය වාර්තා කිරීම සඳහා ඓතිහාසික අවස්ථාවක් ලැබී තිබේ.
ශ්‍රී ලංකා කාන්තා පිල – 113/7 (ඕවර 20) මනුදි නානායක්කාර 35, චමරි අතපත්තු 23, නිලක්ෂිකා සිල්වා 20 (බ්‍රී ඉලිං 18/2, ජෙස් කර් 29/2)
නවසීලන්ත කාන්තා පිල – 117/3 (ඕවර 18.3) සුසී බෙට්ස් 47, බෘෘක් හැලිඩේ නොදැවී 46.