26
ශ්‍රී ලංකා පිලේ පළපුරුදු ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගත්තේය. සවුදි අරාබියේ 2027දී පැවැත්වෙන ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ අවසන් වටය සඳහා ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර, මේ 25 වැනිදා බැංකොක්හිදී පැවැත්වෙන තරගයට මේ කණ්ඩායම සහභාගි වේ.
එයට පෙරහුරුවක් ලෙස මේ මස 20 වැනි දින ලාඕසයට එරෙහිව ලාඕස ජාතික ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක් සඳහා ශ්‍රී ලංකා පිල සහභාගි වේ. ප්‍රධාන පුහුණුකරු අබ්දුල්ලා අල්මුටෙයිරි මහතාගේ ඉල්ලීම මත මේ සංචිතයට පළපුරුදු ක්‍රීඩකයන් සහ නවක මුහුණු මිශ්‍රණයක් ඇතුළත් වේ. පසුගිය වසරේ පුහුණුකරු ලෙස වැඩ භාරගත් අල්මුටයිරි මහතා, ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දුෂ්කර කාලපරිච්ඡේදයකින් පසු නැවත ගොඩනැඟීම සඳහා කටයුතු කරමින් සිටියි.
ජර්මනිය පදනම් කරගත් ක්ලෝඩියෝ කම්මර්ක්නෙක්ට් සහ ඔස්ට්‍රේලියාවේ වේඩ් ඩෙකර් ඇතුළු විදේශීය ක්‍රීඩකයන් කිහිප දෙනකු හා මොහොමඩ් අමාන් සහ වසීම් රාසීක් වැනි ක්‍රීඩකයන් සංචිතයට එක්කර ඇත. ගෝල රකින නායක සුජාන් පෙරේරාට අමතරව කවීෂ් ලක්ප්‍රිය සහ මොහොමඩ් මුර්සිත් අතිරේකව සිටින අතර, ආරක්ෂක පෙළට මොහොමඩ් හස්මීර්, රිෆ්කාන් මොහොමඩ්, ජේසන් තයාපරන් සහ ජැක් හින්ගර්ට්, විලියම් තෝමසන් ඇතුළත්ව සිටිති.
මැදපෙළ ක්‍රීඩකයන් සෑම් ඩුරන්ට්, ඔලිවර් කෙලාර්ට් සහ ආධවන් රාජමෝහන් සිටින අතර, චලන චමීර, ලියොන් පෙරේරා සහ බරත් සුරේෂ් ද කණ්ඩායමට ඇතුළත් වේ.
ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් අවධාරණය කළේ සංචිත තේරීම නිශ්චිත උපායමාර්ගික සැලසුම් අනුව සිදු කළ බවයි. ප්‍රතිවාදී සෑම කණ්ඩායමකටම එරෙහිව ක්‍රීඩා කරන ස්ථාන සහ ක්‍රීඩා සැලැස්ම මත පදනම්ව ක්‍රීඩකයන් තෝරා ගැනීම සිදුකිරීම තම ප්‍රතිපත්තිය බව ජස්වර් උමාර් මහතා පැවසීය.
ශ්‍රී ලංකා පාපන්දු සංචිතය – සුජාන් පෙරේරා (නායක, ගෝල් කීපර්), චලන චමීර, මොහොමඩ් අමාන්, කවීෂ් ලක්ප්‍රිය (ගෝල් කීපර්), මොහොමඩ් මුර්ෂිත් (ගෝල් කීපර්), මොහොමඩ් හස්මීර්, රිෆ්කාන් මොහොමඩ්, මොහොමඩ් තිල්හාම්, අන්ජුන් රාජේන්ද්‍රම්, වසීම් රාසික්, ඔලිවර් ලොට්, භාරත් සුරේෂ්, ආදවන් රාජ්මෝහන්, ලියොන් පෙරේරා, වේඩ් ඩෙකර්, ජේසන් තයාපරන්, ජැක් හින්ගර්ට්, විලියම් තෝමසන්, ක්ලෝඩියෝ කම්මර්ක්නෙක්ට්, සූම් ඩුරන්ට්, ගර්මි පෙරේරා, හර්ෂා ප්‍රනාන්දු, ගැරට් කෙලී.