15
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන දොළොස් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා පිල හෙට චීනයේ නැංජින් බලා පිටත්ව යෑමට නියමිතය. මීටර් 60 ධාවන ඉසව්ව සඳහා චමෝද් යෝධසිංහ, මීටර් 60 කඩුලු මතින් දිවීමේ ධාවන ඉසව්වට කවීෂ බණ්ඩාර හා මීටර් 400 ධාවන ඉසව්වට කාලිංග කුමාරගේ ඍජු සුදුසුකම් ලබා ගත්හ.
මෙයට අමතරව මීටර් 400 සහාය දිවීමේ පිලට සහභාගි වන ඉසුරු ලක්ෂාන්, දිනුජ රන්දිම මධුෂාන්, සදෙව් විමංස, ඔමෙල් ෂශින්ත, මීටර් 400 සහාය දිවීමේ කාන්තා පිලට අයත් නදීෂා රාමනායක, සයුමි ලක්ෂිමා, හර්ෂණී ප්‍රනාන්දු, ජයේෂි උත්තරා හා ෂෙනරි විජේතුංග යන ක්‍රීඩක ක්රීඩිකාවන් ද මේ තරගාවලියට එක්වෙති.
2001 වසරේ පෘතුගාලයේ පැවති ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්රීඩිකාවන් සිවුදෙනකු සුදුසුකම් ලබාගත් අතර, එයින් පසු මෙරටින් සහභාගි වන වැඩිම ක්‍රීඩක පිරිස මෙය වීම විශේෂත්වයකි. 2001දී සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වූහ.
මේ මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන මේ ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දක්වන දක්ෂතා අනුව ඉදිරියේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථා උදාකර ගත හැකිය.
මෙම ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණද වරින් වර හිස ඔසවන කොරෝනා වසංගතය හේතුවෙන් වසර දෙකකට කල් දැමීමට තරග සංවිධායකයෝ තීරණය කළහ. තරගාවලියේ මුල් සැලසුම් අනුව තරගාවලිය 2020 වසරේ පැවැත්වීමට තිබූ අතර, පසුව එය කොරෝනා වසංගතය හේතුවෙන් පළමුවෙන් 2021 දක්වාත්, පසුව 2023 දක්වා කල් දැමීමට සිදු විය.