15
මඩ ගැසීම හෝ පෞද්ගලික කාරණා නොව පක්ෂයේ ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙන යන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සිය පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඒ මහතා මේ ඉල්ලීම කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පෙරේදා (30) හමු වූ අවස්ථාවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“පෞද්ගලික කරුණු හෝ මඩ ගැසීමෙන් කිසිදු වාසියක් ඇති වන්නේ නෑ. බුද්ධිමත් ජනතාව හැම විටම බලන්නේ ප්‍රතිපත්ති ගැන පමණයි. හැකි තරම් පක්ෂයේ ප්‍රතිපත්තිය ජනතාව අතරට ගෙන යෑමට කටයුතු කරන්න. ගමින් ගමට ප්‍රතිපත්තිය රැගෙන යන්න.
ජනතාවට අවශ්‍ය වැඩපිළිවෙළ ගෙන යෑමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලිකත්වය ගත යුතුයි. මේ වන විට බහුතරයක් ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වෙමින් සිටිනවා. එහි සැබෑ තත්ත්වය පළාත් පාලන මැතිවරණයෙන් බලා ගන්න පුළුවන්.”
නුවන් කොඩිකාර