4
“‘දූෂණයෙන් තොර පාලනයක්, යහපත් ජන ජීවිතයක්, සංවර්ධිත නගරයක්’ යන්න අරමුණු කරගෙන මෙවර ජා – ඇළ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම් 1 ‘ත්‍යාගය’ ලකුණින් අපි තරග කරනවා. කණ්ඩායම් නායකයා ලෙස හා නගරාධිපති අපේක්ෂකයා ලෙස මම මෙවර ජා – ඇළ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් 1න් ඉදිරිපත් වෙනවා. ජනතාව මේ වන විට පක්‍ෂ දේශපාලනය දැඩිව ප්‍රතික්ෂේප කරමින් තිබෙන තත්ත්වයක් තුළයි අප මේ තරගයට ඇවිත් ඉන්නේ. අපේ ජයග්‍රහණය ස්ථිරයි” යැයි ජා – ඇළ ස්වාධීන කණ්ඩායම් 1 නායක නාමල් සුරංග මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
“ජා – ඇළ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මම දකින්නේ අපේ පක්‍ෂයේ නායකයන් බණ්ඩාරනායක ප්‍රතිපත්තිවලින් බැහැරව තම වාසිය පමණක් ගැන සිතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විකුණලා ඉවරයි. ජනතාව පාර්ලිමේන්තු නොයවා ප්‍රතික්ෂේප කරපු දෑත් අපිරිසුදු පිරිස් දැන් සූදානම් වන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු ගමන හදාගන්න මෙම පළාත් පාලන මැතිවරණය දඩමීමා කර ගන්නයි. පාරම්පරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් වන අපට මෙය දැඩි කම්පනයක් හා වේදනාවක්. ඒ වගේම කියන්න ඕනෙ අනෙක් ප්‍රධාන පක්ෂවල එළිපිටත් ජාතික ජන බලවේගයේ අභ්‍යන්තරයේත් අළුයට ගිනි මෙන් අර්බුද ඇති වෙලා තියෙන්නේ. මම වසර පහක් ජා – ඇළ නගර සභාව නියෝජනය කරපු මන්ත්‍රීවරයකු විදියට ප්‍රෝඩාකාරී දේශපාලනයට තිත තබන්න මගේ සියලුම උත්සාහයන් දැරුවා.
ඒ වගේම ජා – ඇළ නගර සභාව තුළ සිදු වූ දූෂණයන් අවම කිරීමට මා කටයුතු කළේ නගර සභා දීමනාව පවා ජනතාවට ලබා දෙමිනුයි. ජා – ඇළ නගරය අපි ජයග්‍රහණය කර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ හොඳම නගර සභාව බවට ජා – ඇළ නගර සභාව පත් කරන්න අපේ කණ්ඩායමට ශක්තිය තියෙනවා.”