Home Politics News Room : තව අවුරුදු හතරකින් එජාප ආණ්ඩුවක් පිහිටුවනවා

News Room : තව අවුරුදු හතරකින් එජාප ආණ්ඩුවක් පිහිටුවනවා

0
0

බෙදී සිටින තාක්කල් ජයග්‍රහණය කළ නොහැකි බව ඔළුවෙන් හිටගෙන කිවුවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අවබෝධ නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය.

ඇය මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පෙරේදා (21) පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන අපේක්ෂක හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේ ද කීවාය.

“මේ මැතිවරණයේදී අලියා නැඟිට්ටවා තව අවුරුදු හතරකින් රටේ එජාප ආණ්ඩුවක් පිහිටුවන බව කියන්න කැමතියි. එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කොල්ලුපිටියේ සිරිකොත මන්දිරයේ ඉඳලා තනි ආණ්ඩුව හැදුවේ. එතුමා විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා. පළාත් සභා හඳුන්වා දුන්නා. එතුමා එක මිටට අරගෙන මුළු රටම දියුණු කළා. 94න් පසු අපට ඒ අවස්ථාව නැතිව ගියා.

2015දී අපි නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා දිනෙවුවා. මාසයක් යන විට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බදාගෙන අපව නැති කරන්න උත්සාහ කළා. 2020දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කළේ අපි නෙවෙයි. ජනාධිපතිකමේ අයිතිය අපට තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කරගෙන ගිය මඟදී නැවතුණු වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ගිහින් හැමදෙනාටම යහපත් රටක් ඇති කරන්න මේ මැතිවරණයෙන් මූලාරම්භය තැබිය යුතුයි.

ගිය වසරේ අගෝස්තු 21 වෙනිදා මම සමගි ජන බලවේගයේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුණා. එක්සත් ජාතික පක්ෂය කඩන වැඩේට මාත් සම්බන්ධ වුණා. ඒත් මම කැඩුවේ නෑ. මම නැවතත් එකතු වෙලා දෙපැත්තෙම ඉන්න යූඑන්පීකාරයන් එකතු කරමු යැයි නායකතුමාට කිවුවා. නායකතුමා අපට ඇහුම්කන් දුන්නා. සජබයේ රංජිත් මද්දුම බණ්ඩාර, කබීර් හෂීම් මහත්වරුන් ගිහින් නායකතුමා හමු වුණා. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සාකච්ඡාවලට පත් කළා. සාකච්ඡා මොනවා හරි හේතුවක් නිසා කඩාගෙන වැටුණා. හැටනව ලක්ෂයක් ගත් රාජපක්ෂලා පරද්දන්න අපට බැරි වෙයි කියලා එදා හිතුවත් අද යන්නේ වෙනම ගමනක්. බෙදිලා ඉන්නකම් අපට දිනන්න බෑ කියලා අප තේරුම් ගත්තා. ඔළුවෙන් හිටගෙන කිවුවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ ගැන අවබෝධය වෙන්නේ නෑ. අද මේ ඇතිවී තිබෙන තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිවයුත්තේ සජිත් ප්‍රේමදාස මහතා මිස ඉතිහාසයේ හිටපු නායකයන් නෙවෙයි. ඒ වගකීම සජිත් ප්‍රේමදාස මහතා භාර ගත යුතුයි.

එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් ඉවත් කරන්න හදන විට රනිල් වික්‍රමසිංහ මහතා තනි පයින් හිටගෙන ජනාධිපතිවරයා ආරක්ෂා කළා. සජිත් ප්‍රේමදාස මහතා ඒ කළහිගුණවත් දන්නේ නැති කෙනෙක්. ඔහුගේ තාත්තට ඒ ගති තිබුණේ නෑ. රනිල් වික්‍රමසිංහ මහතා බංකොලොත් වූ රටක් භාරගෙන රාජාසන කතාවේදී රට ගොඩගන්න උදව් කරන්න කියලා ආරාධනා කළා. සජබයේ ඉන්නේ පිට මිනිස්සු නෙවෙයි. එතුමා කරන කරන හැම වැඩකටම විරුද්ධව ඡන්දේ දෙන ලෙස එදා අපට උපදෙස් ලැබුණා. අපි ඡන්දෙ දීමෙන් වැළකී හිටියා. බංකොලොත් වූ රට ගොඩගන්න සජිත් ප්‍රේමදාස මහතාට වුවමනාවක් තිබුණේ නෑ. 87/88 හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඇතුළු අපේ පක්ෂයේ සභාපතිවරුන්, මහලේකම්වරුන්, මන්ත්‍රීවරුන්, ජාතික සේවක සංගමයේ සාමාජිකයන්, රට පුරා සිටින පාක්ෂිකයන්, රජයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඝාතනය කළ බොරුවෙන් කුහකමෙන් මේ රටේ බලය ගත් අනුර කුමාර දිසානායක මහතාට රටේ ප්‍රශ්න විසඳන්න සර්ව පාක්ෂික සමුළුවක් පවත්වන්න දැන් නම් බොහෝම ලස්සනට කතා කරනවා.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ බොහොම ආත්මාර්ථකාමී ලෙස තව අවුරුදු හතරකින් සියලු දෙනා එකතු කරගෙන ජනාධිපති වෙන්න උත්සාහ කරන දැක්මක් නැති, රට හෝ අහිංසක මිනිසුන් ගැන අවබෝධයක් නැති නායකයෙක් ඔහු පිටුපස යන්න එපා කියලා මම සජබයේ පාක්ෂිකයන්ගෙන් ඉල්ලනවා.”

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here