2
දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන් කළමනාකරණය කිරීමට නොහැකි ආණ්ඩුවට කොළඹ මහ නගර සභාව කළමනාකරණය කිරීමට හැකි වේවි දැයි සැක සහිත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (26) දෙමටගොඩ, මල්ලිකාරාම ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පුරපති අපේක්ෂක, වෛද්‍ය රුවේයිස් හනීෆා මහතා පිළිගැනීමේ උත්සවයකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“ආණ්ඩුවේ ජනප්‍රියතාව දිගින් දිගටම අඩු වෙමින් තිබෙනවා. සමගි ජන බලවේගය ජනතාව අතර විශ්වාසය තහවුරු කර ගනිමින් සිටිනවා. මෙවර කොළඹ මහ නගර සභාව මෙන්ම රටේ තවත් පළාත් පාලන ආයතන විශාල ප්‍රමාණයක බලය සමගි ජන බලවේගය අත්පත්කර ගන්නා බව විශ්වාසයි.
සමගි ජන බලවේගයෙන් කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස මෙවර ඉදිරිපත් කර ඇති වෛද්‍ය රුවේයිස් හනීෆා මහතා තරම් කොළඹ උපන්, උගත්, බුද්ධිමත් අපේක්ෂකයෙක් වෙනත් කිසිදු පක්ෂයකින් ඉදිරිපත් කර නෑ.”
රන්මලී සෝමසිරි