7
ප්‍රාතිකා සහ ඩියෝල්
කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති පළමු තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඊයේ පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් ඉනිමක් ඕවර 39කට සීමා කෙරුණි. ඒ අනුව දහවල් 12.00ට පමණ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා පිලට ඕවර 38.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 147ක් පමණි. එම ඉලක්කය හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දු 56ක් ඉතිරි කර ගනිමින් ජය හිමිකර ගත්තේ කඩුල්ලක් පමණක් අහිමි කර ගනිමිනි.
ප්‍රාතිකා රාවල් සහ හර්ලීන් ඩියෝල් පන්දු 120කින් නොබිඳුණු ලකුණු 95ක සබඳතාවක් ගොඩනඟමින් ඉන්දීය ජය තහවුරු කළහ. ප්‍රාතිකා ඉන් පෙර ස්මිත්‍රි මන්දනා සමඟ එක්ව පළමු කඩුල්ලට ලකුණු 54ක් එක් කළ අතර, පන්දු 46කදී හතරේ පහර 6ක් සමඟ ලකුණු 43ක් රැස් කර සිටි මන්දනා දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් වීමත් සමඟ පළමු කඩුල්ලේ සබඳතාව බිඳ වැටිණි. ඉනිම නිමා වන විට ප්‍රාතිකා පන්දු 62කදී හතරේ පහර 7ක් සමඟ ලකුණු 50ක් සහ ඩියෝල් හතරේ පහර 4ක් සමඟ පන්දු 71කින් ලකුණු 48ක් රැස් කර තිබිණි.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම ඇරඹීමට විශ්මි ගුණරත්න වෙනුවට නායිකා චමරි අතපත්තු සමඟ මාස 6කට පසු එක්දින පිලට කැඳවූ 29 හැවිරිදි හසිනි පෙරේරා පිටියට පිවිසි අතර, ඇය පන්දු 46කින් ලකුණු 30ක් රැස් කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය අතර, එම ඉනිම ශ්‍රී ලංකා පිලේ ඉහළම ලකුණු සංඛ්‍යාව බවට ද පත් විය. චමරි ලකුණු 7කට දැවී ගිය අතර, කිසිදු පිතිකාරිනියන් යුගලකට සාර්ථක සබඳතාවක් ගොඩනැඟීමට ඉන්දීය පන්දු යවන්නියන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.
හර්ෂිතා සමරවික්‍රම ලකුණු 14කට තෙවැනි කඩුල්ල ලෙස දැවී යද්දී, කවීෂා දිල්හාරි ලකුණු 25ක් අනුෂ්කා සංජීවනි ලකුණු 22ක් ඉනිමට එක් කළහ. ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පියුමි වත්සලාගේ ඉනිම ලකුණු 2කට සීමා වූ අතර, පන්දු යැවීමේදී ස්නෙ රානා කඩුලු 3ක්, දීප්ති ෂර්මා සහ ශ්‍රී චරනි කඩුලු 2 බැගින් දවා ගත්හ. ප්‍රාතිකා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය.
මේ තරගයේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 29 හැවිරිදි දකුණත් පිතිකාරිනියක වන පියුම් වත්සලා ජාත්‍යන්තර තරග වරම් දිනාගත් අතර, මද වේග පන්දු යවන්නියක වන 24 හැවිරිදි මල්කි මදාරා ජාත්‍යන්තර එක්දින තරග වරම් දිනා ගත්තාය. ඉන්දීය පිල වෙනුවෙන් කෙශ්වි ගෞතම් සහ ශ්‍රී චරනි ද ජගත් එක්දින වරම් හිමි කර ගත්හ.
මේ තරගාවලියේ දෙවැනි තරගය හෙට (29) ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා පිල – 147 (ඕවර 38.1) හසිනි පෙරේරා 30, කවීෂා දිල්හාරි 25, අනුෂ්කා සංජීවනි 22, අචිනි කෞෂල්‍යා 17 (ස්නෙ රානා 31/3, දීප්ති ෂර්මා 22/2, ශ්‍රී චරනි 26/2)
ඉන්දීය කාන්තා පිල – 149/1 (ඕවර 29.4) ප්‍රාතිකා රාවල් නොදැවී 50, හර්ලීන් ඩියෝල් නොදැවී 48, ස්මිත්‍රි මන්දනා 43
නිරෝෂාන් ප්‍රියංකර