Home Politics News Room : දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ආදර්ශයෙන් අපි ඔප්පු කිරීමට සූදානම්

News Room : දේශපාලනය කියන්නේ මොකක්ද කියලා ආදර්ශයෙන් අපි ඔප්පු කිරීමට සූදානම්

0
0

දේශපාලනය කියන්නෙ මොකක්ද කියලා ආදර්ශයෙන් ඔප්පු කිරීමට අපි සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අරියානා රීච් හෝටලයේ පසුගියදා (11) පැවති ජාතික ජන බලවේගයේ මහරගම ව්‍යාපාරික හමුව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

සැප්තැම්බර් 21 වැනිදා මැතිවරණයකට මුහුණ දෙනවා. මේ ඔබ මුහුණ දෙන පළමු මැතිවරණය නොවෙයි. ඔබ මෙතෙක් ආණ්ඩු හැදුවත්, නායකයන් ගෙනාවත් ඉතා කෙටි කාලයකින් එම විශ්වාසය බිඳ වැටීමට පටන් ගන්නවා. මම ඔබට එක පොරොන්දුවක් දෙන්නම්, ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබමල් රේණුවකින් තරම්වත් හානියක් වෙන්න ඉඩ තබන්නේ නැති බව. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යනු ඔබගේ වුවමනාවත්, ආණ්ඩුවේ වුවමනාවත් එකට සමපාත වෙන ආණ්ඩුවක්. ඔබ සහ අප යන එක අරමුණකට වැඩ කරන, එක ඉලක්කයක් ජයග්‍රහණය කිරීම සඳහා වැඩකරන පොදු මෙහෙයුමක් අපට තිබෙනවා. මීට පෙර හැදුණු ආණ්ඩු ජනතාවගේ අපේක්ෂාවත්, පාලකයාගේ අපේක්ෂාවත් දෙකක්.

අපේ රටේ ආර්ථිකය ප්‍රධාන ගැටලු දෙකක හිරවෙලා තිබෙනවා. එකක් තමයි වසරකට අපට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නොවීම. අපේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 12ක් වෙන විට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20ක්. ණය ගෙවීම සඳහා අතිරේක වශයෙන් ඩොලර් බිලියන 06ක් අවශ්‍ය වෙනවා. සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 03කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6.8ක් ලැබී තිබෙනවා. අපට වසරකට ඩොලර් බිලියන 05 – 6ක හිඟයක් තිබෙනවා. ඒ කියන්නේ වසරකට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය උපයා ගන්න සමත් නැහැ. ඒ නිසා අපට ණය ගන්න සිදු වෙනවා.

දෙවැනි අර්බුදය තමයි, වසරකට වියදම් සඳහා අවශ්‍ය වෙන රුපියල් උපයා ගැනීම. ණය වාරික හා පොලී ගෙවීමටත්, රජයේ අනෙකුත් වියදම් සඳහා අපට රුපියල් බිලියන 11,277ක් අවශ්‍ය වෙනවා. බදු ගැසීම් ආදියෙන් භාණ්ඩාගාරයට එන්නේ වසරකට රුපියල් බිලියන 4168යි. එහෙම නම් අපට අපේ භාණ්ඩාගාරයට එන රුපියල් ප්‍රමාණය වැඩිකර ගැනීමට සහ වියදම් ප්‍රමාණය අඩුකර ගැනීමට සැලැස්මක් අවශ්‍යයි. අපිට අද මේ භුක්ති විඳීමට සිදුව තිබෙන්නේ දශක ගණනාවක ගෙන ගිය ආර්ථික ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයි.

අනාගත ලෝකය පාලනය කරන්නේ තාක්ෂණික මෙවලම් සහ සේවාවලින් නිෂ්පාදනය කළ හැකි රාජ්‍යයන්. ඌබර් සමාගම එක මෘදුකාංග පද්ධතියක් පාවිච්චි කරමින් ලෝකයම මෙහෙයවනවා. නමුත් ඔවුන්ට එක වාහනයක්වත් ලෝකයේ නැහැ. ඇපල් සමාගමට නවීන ස්මාර්ට් ෆෝන් එකක් නිෂ්පාදනය සහ එකලස් කිරීම වෙනුවෙන් ඩොලර් 20ත් 30ත් අතර මුදලක් වැය වෙනවා. නමුත් මේ ෆෝන් එක නිර්මාණය කිරීම සහ සංවර්ධනය කිරීම මෙන්ම අලෙවිකරණය වෙනුවෙන් විකුණුම් මිලෙන් 54%ක් .ඒ කියන්නේ ඩොලර් 600ක ආදායමක් ලැබෙනවා. තාක්ෂණයෙන් ආදායම් උපයන්නේ මේ විදිහට. අපේ අයි.ටී. කර්මාන්තයෙන් දැන් උපයන්නේ ඩොලර් බිලියන 1.3යි. එය ඩොලර් බිලියන 05ක් කරන්න සැලසුම් සකස් කර වසර ගණනාවක් වෙනවා. නමුත් ක්‍රියාත්මක කළේ නැහැ. ඉන්දියාවේ එම ආදායම ඩොලර් බිලියන 253යි. මතුපිට තලයේදී පාලකයන් වංචා කිරීම, අනවශ්‍ය ඉදිකිරීම් වගේ දේවල් සිදුකළාට වඩා අපරාධයක් ඒ යුගයේදී අත්පත් කර ගත යුතු ජයග්‍රහණ අත්පත් කර නොගැනීමෙන් සිදුකර තිබෙනවා. විශාලම අපරාධය ඒකයි. අපි අඛණ්ඩවම පැහැදිලි කරන ආකාරයටම මේ රට ගොඩනඟන්න නම්, වංචාව, දූෂණ, නාස්තිය නතර කළ යුතුමයි. කිසිදු පිරිසිදු ආයෝජකයෙක් ලංකාවට එන්නේ නැහැ. ඇමැතිවරුන්ට පගා ගෙවන්න පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ.

අපේ පාලනයක් ආරම්භයේදී සහනාධාර ලැබිය යුතු ජනතාව වෙනුවෙන් ආධාර තහවුරු කරනවා. සහනාධාර කියන්නේ ලෝකයේ දියුණු රටවල් පවා අවශ්‍ය කරන ජනතාවට ලබාදෙන දෙයක් මිස අපරාධයක් නොවෙයි. ඒ වගේම සෞඛ්‍යයත් මූලිකයි. ආර්ථිකය සමඟ ක්‍රමානුකූලව ඒ ජනතාව බද්ධ කිරීමෙන් සහනාධාර ඉවත් කිරීමේ සැලසුම් දියත් කරනවා. අද සිදුකරන්නේ පෞද්ගලික ව්‍යවසායකයන් උපයන දෙයින් බදු ගහලා ආණ්ඩුවට අරගෙන තමන්ගේ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමයි.

ඒ වගේම අලුතින් ගොඩනැඟෙන ව්‍යවසායකයන් වෙනුවෙන් ව්‍යාපෘති වාර්තාවන් ලබාගෙන අධ්‍යයනය කර බලා දේපොළ ඇපකර නැතිව ණය මුදල් ලබාදෙන සංවර්ධන බැංකුවක් පිහිටුවනවා. ව්‍යවසායකයන්ට අඩු පොලියට ණය ලබාදෙනවා. ඒ වගේම ආණ්ඩුව මැදිහත් වී තෝරා ගත් ක්ෂේත්‍ර සඳහා, විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් කෙටි කාලීන ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. විදේශ සංචාර සඳහා චීන ජාතිකයන් මිලියන 120ක් වසරකට රටින් පිටවී යනවා. එයින් 5%ක් අපේ රටට ගෙන්වා ගත හැකි නම්, මිලියන 06ක සංචාරකයන් පැමිණෙනවා. ඔවුන් බෞද්ධාගම සමඟ සංස්කෘතික බැඳීමක් ඇති අයයි. කර්මාන්තකරුවා සහ ආණ්ඩුව එකම ඉලක්කයකට පොර බදනවා. ව්‍යාපාරිකයා වැටුණොත් ඔහු නැවත ගොඩගන්න ආණ්ඩුව මැදිහත් වෙනවා. නමුත් අපේ සතුරන් ප්‍රචාරය කරමින් සිටින්නේ ඔවුන්ගේ දේපොළ අත්පත් කර ගන්නා බවයි. මේ මොහොතේ ඔවුන් සිදුකරමින් සිටින්නේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් ඇතුළු රාජ්‍ය සම්පත් ඔවුන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් පරිහරණය කිරීමයි. අපගේ සැලැස්ම පෞද්ගලික අංශයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක උන්මාදයක් ඇතිකර කර්මාන්ත නඟාසිටුවමින් මහා භාණ්ඩාගාරයට මුදල් රැස්කිරීමයි. මේ රටේ ශ්‍රමිකයන්ට රැකියා ලබා දෙන්නේ පෞද්ගලික අංශයෙන්. ශ්‍රී ලාංකිකයන් 13,500ක් පමණ මාලදිවයිනේ සංචාරක සහ ධීවර රැකියාවල නිරතව සිටිනවා. එරට පවතින්නේ මේ ක්ෂේත්‍ර දෙක පමණයි. අපේ රටේ ශ්‍රමිකයන් වෙත විදේශ පුහුණු වෘත්තීන් අත්පත් කර දීමට මේ පාලකයන් කටයුතු කළේ නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගයේ පාලනයකින් කිසි කෙනකුගෙන් පළිගන්නේ නැහැ. නමුත් අපේ රට මේ විපතට ඇද දැමීම සඳහා ඔවුන් කරන ලද වංචා දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර, මහජන දේපළ යළි පවරා ගැනීමත් වැරදිවලට දඬුවම් ලබාදීමත් සිදුකළ යුතුයි. එය කිසිසේත්ම පළිගැනීමක් නොවෙයි. සමාජීය අවශ්‍යතාවක්.

අමායා රන්දුනු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here