22
රාජපක්ෂවරුන්ගේ දේශපාලන ගමන සියවසකට කිට්ටුය. 1936 දී රුහුණෙන් දේශපාලනය වෙත පිවිසි ඩී.එම්. රාජපක්ෂ මහතා හඳුන්වනු ලැබුවේ “රුහුණේ සිංහයා” ලෙසිනි. 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ ඔහු හදිසියේම රෝගාතුරව සිට 1945 දී අභාවප්‍රාප්ත විය. ඉන්පසු නිතරගයෙන් පත්වූ රුහුණේ ගිරුවායේ නියෝජිතයා වූයේ ඩී.ඒ. රාජපක්ෂය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක යුගයේ සාමාජිකයකු වූ අතර බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත්ව යද්දි ඩී.ඒ. රාජපක්ෂ මහතා ද ඔහු සමඟ එජාපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමට එක්විය. ඔහු පිළිබඳව සඳහන් කළ බණ්ඩාරනායක මහතා සඳහන් කළේ , තමන් ආණ්ඩුවෙන් එළියට එද්දී තමන් සමඟ පිටුපසින් කෙනෙකු පැමිණෙන බව දැනුණු බවත් ඒ පැමිණ තිබෙන්නෙ රාජපක්ෂ මහතා බවටත්ය. රාජපක්ෂ දේශපාලනය රටේ අවධානය දිනාගත්තේ එසේය. ඩී.ඒ .රාජපක්ෂ මහතාගෙන් පසු රාජපක්ෂ දේශපාලනය තුළ ලොකුම සටහන තැබුවේ මහින්ද රාජපක්ෂ මහතාය. කැමැති වුවද අකැමැති වුවද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනය සහ ඔහු පිළිබඳව කිසිවකුට අමතක කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ සාධකය 2005 සිට මෙරට ප්‍රබලම බලකේන්ද්‍රය බවට පත් වූයේ යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. තිස් අවුරුදු යුද්ධය ජයගැනීම, ත්‍රස්තවාදය පරාජය කර උතුරු නැඟෙනහිර සාමය ඇති කිරීම, උතුරු නැඟෙනහිර ප්‍රදේශය තුළ විශාල සංවර්ධනයක් ඇති කිරීමටද එම කාලය තුළ හැකියාව ලැබුණි. නාගරික සංවර්ධනය සිදු කිරීම අතින් ද මහින්ද රාජපක්ෂ යුගය කැපී පෙනුණි.
යුද ජයග්‍රහණය තුළ සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ ද යුද්ධය මෙහෙයවීම පරිපාලනය කළ ප්‍රධානම රාජ්‍ය නිලධාරියා වූයේ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතාය. නාගරික සංවර්ධනය, නගර සැලසුම් කිරීම යන අංශවලින් ද රටේ නමක් තැබුවේය. ගෝඨාභය වැඩකාරයෙක් ය යන අදහස සමාජය තුළ මුල්බැස ගත්තේ මේවා නිසාය. සැබැවින්ම ඔහුට තමන් වෙත පැවරුණු මේ දෙඅංශය තුළ එතෙක් මෙතෙක් කිසිවකු නොකළ තරමේ හැකියාවක් ලැබී තිබුණි.
2015 දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන්නේ තමන්ගේම පක්ෂයේ ලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාටය. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ද සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම විපක්ෂයට තල්ලු කරමිනි. වසර කිහිපයක් ගත වන විට නැවතත් රාජපක්ෂ කඳවුර සංවිධානය වීමට කටයුතු කළ අතර 2018 වර්ෂය වන විට රාජපක්ෂවරු සමඟ සිටි මහජන නියෝජිතයන් එක්ව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා ගත් අතර 2018 වර්ෂයේදී පැවති පළාත් පාලන මැතිවරණයේදීම එවකට රට පාලනය කළ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය ද පසුපසට තල්ලු කරමින් අලුතින් පිහිටුවන ලද පොදු ජන පෙරමුණ රට පුරා පළාත් පාලන ආයතන අති බහුතරයක් ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණය 2019 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණයට විශාල උත්තේජනයක් ලබා දුන්නේය. ඒ වන විට ‘වියත් මග’ නම් සිවිල් සංවිධානයක් පිහිටුවමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ද දේශපාලනය වෙත පිවිසීමට අවශ්‍ය මාර්ගය හෙළිපෙහෙළි කරගනිමින් සිටියේය.
පාස්කු බෝම්බ ප්‍රහාරය සහ රට තුළ ඇති වූ අස්ථාවර තත්ත්වය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව තිබූ සමාජ අවධානය වැඩි වූ අතර 2019 වර්ෂයේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒකමතිකව තීරණය කරනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමටය. ලක්ෂ හැටනවයේ දේශපාලන රැල්ල රට පුරා හමා යාම ඇරඹෙන්නේ මේ තීරණය සමඟය.
එවකට ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය තීරණය කරනු ලබන්නේ සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමටය. ඔවුනගේ අරමුණ බවට පත්ව තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්කර ගනිමින් සහ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගනිමින් 2015 ඇති කළ දේශපාලන සහ ආර්ථික වැඩපිළිවෙළ 2024 දක්වා අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමටය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමත් සමඟ එවකට ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහාය ලබා දීමට කටයුතු කළේය. මෙය 2019 ජනාධිපතිවරණයේ තවත් එක් තීරණාත්මක කඩඉමක් බවට පත්විය. ඒ සමඟ මෙරට වාමවාදී දේශපාලන පක්ෂ බොහොමයක් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහාය ලබා දීමට කටයුතු කළේය. 2019 ජනාධිපතිවරණ සටන රාජපක්ෂ මහතා වෙත වඩාත් වාසිදායක තැනක් බවට පත්වූයේ පාවෙන ඡන්ද බහුතරය ඔහු වෙත ඇදී යාමත් සමඟය.
අද සමාජ අවධානය දිනාගෙන තිබෙන ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් ජාතික ජන බලවේගය ද මුලින්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ 2019 ජනාධිපතිවරණයේදීය. එම ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් බවට පත්ව සිටියේ ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, සහ අනුර කුමාර දිසානායකය. තවද හිටපු හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක මහතා ද ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස තරග කළේ මෙම ජනාධිපතිවරණයේදීය.
2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණ දිනය පැමිණෙන විට රැල්ල නිර්මාණය වී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාටය. මැතිවරණ දිනයේ උදෑසන වන විට රටේ තිබුණේ ඉතාමත් ඉහළ මහජන උද්යෝගයකි. මහජන සහභාගි දේශපාලන රැල්ලකින් ජනාධිපතිවරයකු බිහි වූයේ 2019 දී යන්න සඳහන් කිරීමේ වරදක් නැත. දකුණ, ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල වැනි ප්‍රධාන දිස්ත්‍රික්කවලදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළේ 65% තරම් ඉහළ ප්‍රතිශතයකිනි. කඹුරුපිටියේ ප්‍රතිඵලය 70%ද ඉක්මවා ගොස් තිබුණි. ලැබුණු ප්‍රතිඵල අනුව දකුණේ ඡන්ද බහුතරයකින් පමණක් ජනාධිපතිවරයකු පත්වූ පළමු අවස්ථාව ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය හඳුන්වා දිය හැකිය. උතුරු නැඟෙනහිර ආසන මෙන්ම කඳුකරය සහ කොළඹ නගරය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළ අතර යාපනය සහ වන්නියේදී සජිත් ප්‍රේමදාස මහතා 85% තරම් ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්ත ද ඔහුට රටෙන්ම ලබා ගැනීමට හැකි වූයේ ලක්ෂ පනස් පහකට වඩා මදක් වැඩි ඡන්ද ප්‍රමාණයක් පමණි. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසයේ අපේක්ෂකයකු ලැබූ වැඩිම ඡන්ද ප්‍රමාණය වන ලක්ෂ 69ක ජන වරමක් ලබා ගත් අතර අනුර කුමාර දිසානායක මහතාට හිමි වූයේ ලක්ෂ හතරකට මදක් වැඩි ඡන්ද ප්රමාණයකි.
රට තුළ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසු විශාල සමාජ පරිවර්තනයක් ඇති විය හැකි බවට සමාජ අපේක්ෂාවක් ඇතිව තිබූ අතර තරුණ කණ්ඩායම් ස්වේච්ඡාවෙන්ම බිත්තිවල සිතුවම් ඇඳීම, පුරන් කුඹුරු අස්වැද්දීම වැනි කටයුතු සඳහා යොමු වූයේ අනාගතය පිළිබඳ අහස උසට බලාපොරොත්තු ගොනු කරගනිමිනි. එසේ ලක්ෂ 69ක ජනතා අපේක්ෂා සමඟ කරළියට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට එම 69 ලක්ෂයේ අභිලාෂයන් කෙතෙක් දුරට සඵල කිරීමට හැකිවූයේ ද යන්න සමාජය විසින් තීරණය කළ යුතුව තිබේ.
උදිත ගුණවර්ධන