Home Politics News Room : උණ්ඩයට එරෙහිව ඡන්දය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ හැරවුමක්

News Room : උණ්ඩයට එරෙහිව ඡන්දය ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ හැරවුමක්

2
0

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් රාජපක්ෂ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය කැලණිය විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ 1988 ජනාධිපතිවරණය රටේ දේශපාලන ඉතිහාසයේ වඩාත්ම කැලඹිලිසහගත සහ තීරණාත්මක අවස්ථාවන්ගෙන් එකකි. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ඔරොත්තු දීමේ හැකියාව පරික්‍ෂා කළා පමණක් නොව සන්නද්ධ කැරැල්ල සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අතර තීව්‍ර අරගලය සනිටුහන් කළ මැතිවරණයකි. “බුලට් එකට එරෙහිව බැලට් එක” යන වාක්‍ය ඛාණ්ඩය මෙම කාලපරිච්ඡේදය තුළ ජාතිය මුහුණ දුන් අභියෝගය කියා පෑමට වඩාත් උචිත යෙදුමකි. මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මාවත සහ ප්‍රචණ්ඩත්වයේ භයානක මාවත අතර පවතින වෙනස සනිටුහන් කරයි.

කැලඹිලි සහිත ජාතියක්

1980 දශකයේ අගභාගයේදී ශ්‍රී ලංකාව දේශපාලන නොසන්සුන්තාව, ආර්ථික දුෂ්කරතා සහ සමාජ නැඟිටීම් කුණාටුවක ගිලි ගියේය. උතුරු-නැගෙනහිර සිවිල් යුද්ධයේ සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් දකුණේ කැරැල්ලේ ද්විත්ව අභියෝග සමඟ ජාතිය පොර බදිමින් සිටියේය. මාක්ස්-ලෙනින්වාදී දෘෂ්ටිවාදය විසින් මෙහෙයවනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍යය පෙරළා දැමීමේ අරමුණින් ප්‍රචණ්ඩ ව්‍යාපාරයක් මෙහෙයවමින් ආණ්ඩුවට එරෙහිව ආයුධ අතට ගෙන තිබුණි. ඝාතන, බෝම්බ හෙළීම සහ පුළුල්ව පැතිරුණු ප්‍රචණ්ඩත්වය එදිනෙදා ජීවිතයේ යථාර්ථයක් බවට පත්වෙමින් මෙම කැරැල්ල භීතියේ සහ අස්ථාවරත්වයේ වාතාවරණයක් නිර්මාණය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ සමතුලිතභාවය අභියෝගයකට ලක් වෙමින් පැවති වකවානුවක 1988 ජනාධිපතිවරණය පැවැත්වුණි.

මතවාදීමය තරගයක්

මැතිවරණයේදී ප්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු ජනාධිපති ධුරය සඳහා තරග වැදුණි. ඒ එක්සත් ජාතික පක්‍ෂයේ රණසිංහ ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිරිමා බණ්ඩාරනායක වශයෙනි. ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අගමැති වශයෙන් කටයුතු කළ ප්‍රේමදාස මතභේදාත්මක විවෘත ආර්ථිකය සහ දෙමළ සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා ඇතුළු පවතින රජයේ ප්‍රතිපත්තිවල අඛණ්ඩ පැවැත්ම නියෝජනය කළේය. හිටපු අගමැතිනියක මෙන්ම කෘතහස්ත දේශපාලනඥවරියක වූ සිරිමා බණ්ඩාරනායක සාම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඡන්ද පදනමට ආයාචනා කරමින් සමාජවාදයේ සහ ජාතික සමගියේ වේදිකාවක් මත ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූවාය. කෙසේ වෙතත් මැතිවරණය හුදෙක් මෙම දේශපාලන දැවැන්තයන් දෙදෙනා අතර තරගයක් නොවීය. එය ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය පිළිබඳ ජනමත විචාරණයක් විය. එනම් රට දිගටම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මාවත අනුගමනය කරයි ද? නැතිනම් සන්නද්ධ කැරැල්ලේ බලවේගවලට යටත් වේවිද යන්න තීරණය විමසා බැලීමක් විය.

යටපත් කළ ප්‍රජාතන්ත්‍රවාදය

1988 මැතිවරණ ව්‍යාපාරය පෙර නොවූ විරූ මට්ටමේ ප්‍රචණ්ඩත්වයකින් විනාශ විය. මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව ජවිපෙ වර්ජනයක් ප්‍රකාශ කර මැතිවරණය කඩාකප්පල් කිරීම සඳහා භීෂණ ව්‍යාපාරයක් දියත් කළේය. ඔවුහු දේශපාලන රැස්වීම්, පක්‍ෂ සාමාජිකයන් ඝාතනය කිරීම සහ ඡන්දදායකයන් බිය ගැන්වීම සිදු කළහ. ආණ්ඩුව ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රති-කැරැලි මෙහෙයුමක් දියත් කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පුළුල්ව පැතිරුණු මානව හිමිකම් උල්ලංඝනයන් සහ සිවිල් නිදහස අහිමි විය. ප්‍රචණ්ඩත්වය නොතකා උණ්ඩයට වඩා ඡන්දයේ උත්තරීතර බව තහවුරු කිරීමට ආණ්ඩුව අධිෂ්ඨාන කර ගනිමින් මැතිවරණය ඉදිරියට ගෙන ගියේය. ආණ්ඩුව සහ කැරැලිකරුවන් දෙදෙනාම එකිනෙකා අබිබවා යාමට උත්සාහ කරමින් මැතිවරණ ව්‍යාපාරය කැමැත්ත පරික්‍ෂා කිරීමේ පරීක්‍ෂණයක් බවට පත්විය. ජනතා විමුක්ති පෙරමුණේ බියගැන්වීමේ උපක්‍රම ආණ්ඩුවේ දැඩි මර්දනයට ලක් වූ අතර මෙරට පුරවැසියන් මේ සියල්ලේම ගොදුරු බවට පත්විය.

ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය

1988 දෙසැම්බර් 19 වැනි දින දැඩි ආරක්‍ෂාව යටතේ සහ බියෙන් පිරුණු වාතාවරණයක් මධ්‍යයේ ශ්‍රී ලාංකිකයෝ ඡන්ද පොළට ගියහ. ඡන්ද දායකයන්ගේ ප්‍රජාතනත්‍රවාදී අයිතීන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ඡන්ද දායකයින්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය පිළිබඳ සාක්‍ෂියක් වන පුදුම සහගත ලෙස ඡන්දය ප්‍රකාශ කිරීම ඉහළ මට්ටමක පැවැතුණි. ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන නොතකා, ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රචණ්ඩත්වයේ මාවත ප්‍රතික්ෂේප කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ සුපිළිපන් මාවත තෝරා ගත්හ. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ 44.9% ඡන්ද ප්‍රතිශතයට එරෙහිව 50.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් රණසිංහ ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළේය. ඔහුගේ ජයග්‍රහණය සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අඛණ්ඩව පවත්වාගෙනයාම සඳහා වූ ජනවරමක් සහ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල ප්‍රතික්ෂේප කිරීමක් ලෙසය. කෙසේ වෙතත් ජයග්‍රහණයේ කුඩා පරතරය රට තුළ පැවති ගැඹුරු බෙදීම් පිළිබිඹු කළේය.

යථා තත්ත්වයට

1988 ජනාධිපතිවරණය ශ්‍රී ලංකා ඉතිහාසයේ කඩඉම් අවස්ථාවක් විය. රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ආන්තික විපත්ති හමුවේ පවා ඔරොත්තු දීමේ හැකියාව එයින් ප්‍රදර්ශනය විය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලීන් සඳහා ජනතාවගේ කැපවීම යළි තහවුරු කරමින් උණ්ඩයට උඩින් ඡන්දයට ඇති බලය මැතිවරණය අවධාරණය කළේය. ඉන්පසු වසරවලදී, ජනාධිපති ප්‍රේමදාසගේ ආණ්ඩුව ජවිපෙ කැරැල්ල සහ උතුරු-නැඟෙනහිර පැවති සිවිල් යුද්ධය යන දෙකේම අභියෝගවලට මුහුණදුන්නේය. කෙසේ වෙතත් 1988 මැතිවරණය පූර්වාදර්ශයක් සපයා තිබුණි. එය ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රචණ්ඩත්වයෙන් බියට පත් නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය එහි අඩුපාඩු තිබියදීත් ඔවුන් අනුගමනය කිරීමට තෝරාගත් මාවත බවත් සනාථ කළහ. ප්‍රේමදාසගේ ජනාධිපති ධුරය සනිටුහන් වූයේ ජවිපෙ කැරැල්ල මැඬපැවැත්වීමට සහ සිවිල් යුද්ධයේ සංකීර්ණතා මඟහරවා ගැනීමට අඛණ්ඩ උත්සාහයක් මගිනි. ඔහුගේ ආණ්ඩුව දිළිඳුකම පිටුදැකීම, ග්‍රාමීය සංවර්ධනය සහ නිවාස ඉලක්ක කරගත් ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවූ නමුත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජවිපෙ නැඟිටීම මැඬපැවැත්වීම සඳහා ගනු ලැබූ දැඩි ක්‍රියාමාර්ග පිළිබඳව විවේචනවලට පාත්‍ර විය.මැතිවරණයේ උරුමය 2000 දශකය දක්වාම විහිදී ගියේය. එය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුව ද ඔරොත්තු දීමට පූර්වාදර්ශයක් විය. දශක ගණනාවක ගැටුම්වලින් තවමත් යථා තත්ත්වයට පත් වෙමින් පවතින ජාතියක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාමේ අභියෝග සමඟ පසුකාලීන මැතිවරණ තුළ ගතිකත්වයට හේතු විය.

ශ්‍රී ලංකාවේ 1988 ජනාධිපතිවරණය හුදු දේශපාලන පොර පිටියකට වඩා වැඩි දෙයක් නිරූපණය කළේය. එය ජාතියේ ආත්මය සඳහා වූ සටනක් විය. උණ්ඩය සහ ඡන්දය අතර තේරීම හුදු සටන් පාඨයක් පමණක් නොවීය. ඡන්දය තෝරා ගැනීමේ දී, ශ්‍රී ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කළ අතර ජාතියේ අනාගතය සඳහා මාවත සකස් කළහ. එම තීරණාත්මක මැතිවරණය ගැන මෙනෙහි කරන විට ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශවල කල්පවත්නා බලය සහ විපත්ති හමුවේ ඒවා ආරක්‍ෂා කරන පුරවැසියන්ගේ ධෛර්යය නිතැතින්ම අපට සිහිපත් වේ.

රුවන් පුෂ්පකුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here