Home Politics News Room : චන්ද්‍රිකාගේ ඇසට වැසුණු ජා-ඇළ බෝම්බය

News Room : චන්ද්‍රිකාගේ ඇසට වැසුණු ජා-ඇළ බෝම්බය

0
0

හදිසියේ පිපිරූ අධිබලැති බෝම්බය නිසා මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු 15 දෙනෙක් ඝාතනයට ලක්වූහ. ලුර්දුපිටිය එකම යුද පිටියක් වී තිබිණි. රාත්‍රී විදුලි පහන් එළියෙන් දිස්වූයේ තැන තැන වැතිර තිබූ සිරුරු හා වේදිකාවේ සුන්බුන් පමණය. කොටි ඩයස්පෝරාව ප්‍රභාකරන්ව බේරා ගැනීම සඳහා එම පිපිරීම හමුදා බුද්ධි අංශය සිදු කළ බවට ප්‍රතිචාරයක් දියත් කළේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියගේ පළමු ධුර කාලය ඉකුත් වෙමින් තිබිණි. නියමිත දිනට ඊළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබුණේය. ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත් කෙරුණේය. 1999 නොවැම්බර් මස 16 දින නාමයෝජනා භාර ගැනුණු අතර 13 දෙනෙක් නාමයෝජනා භාර දුන්හ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරදැරි කරගෙන ඊළඟ වටයටත් ඉදිරිපත් කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියවය.

ඇය 1994 ලබාගෙන තිබුණු ඡන්ද පදනම දියවෙමින් තිබුණු කාලයක මෙම මැතිවරණයෙන් ජය ගැනීම අසීරු විය හැකිය යන අදහස්ද ආණ්ඩු පාර්ශ්වය තුළ බෙහෙවින් කතාබහට ලක් වූයේය. එහෙත් ඇය 1994 තිබුණු ජනප්‍රියතාව තවමත් ඇතැයි සිතමින් නාමයෝජනා භාරදී මාධ්‍යයට පැවැසුවේ තමන් ඉහළ ප්‍රගතිශතයකින්ම දිනන බවක්ය.

1999 ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ නගර සභා ක්‍රීඩාංගණයේ පැවති පොදුජන පෙරමුණේ අවසන් රැලියේදී අපේක්ෂිකාව වූ චන්ද්‍රිකා මැතිනිය එල්ල කර ඇටවූ අධිබලැති බෝම්බය නිසා ඝාතන රැසක් සිදුවූ අතර චන්ද්‍රිකා මැතිනියගේ ඇසට බරපතළ තුවාල සිදු විය. එ.ජා.ප.යෙන් ඉදිරිපත් කෙරුණේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාය. මෙය රනිල් වික්‍රමසිංහ මහතාගේ පළමු ජනාධිපතිවරණ ඡන්ද සටන වූයේය. මීට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ සටනට ප්‍රවේශ වූයේ නන්දන ගුණතිලකය. ඊට අමතරව තවත් 11 දෙනෙක් ඉදිරිපත් වූහ. සියල්ල දහතුන් දෙනෙකි.

මේ අතර රට පුරා පැවැති රැස්වීම්වලදී කොටි සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ලවේය යන රාවයක් පැතිරෙමින් තිබුණත් චන්ද්‍රිකා රනිල් කොටින්ට බලය දෙන බව පැවැසූ කතා අල්ලා ගනිමින් වාග් ප්‍රහාර එල්ල කරමින් සිටි මොහොතකය. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව ගැන කතා නොකළ චන්ද්‍රිකා මැතිනිය ඔහුටද ආරක්ෂාව සපයන්නට කටයුතු කළාය. රනිල් වික්‍රමසිංහට කොටින්ගෙන් ප්‍රහාරයක් එල්ල වෙන එකක් නෑය යන්න චන්ද්‍රිකා මැතිනියගේ පිල ඉහළින්ම ජනගත කරමින් පැවැතියේය. ඊට රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාද සවිබලයක් වී තිබුණේය. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා අවසන් රැලි අමතා හමාර කරමින් තිබුණේය. ඔහු දෙසැම්බර් 16 දා බළන්ගොඩට ඇවිත් කීවේ. ‘මං ජනාධිපති වුණාම තරුණ තරුණියන්ට අධ්‍යාපන පහසුකම් තවත් නංවනවා’ කියලාය. චන්ද්‍රිකා මැතිනිය දෙසැම්බර් 21දා යක්කල ජන හමුව අමතමින් පැවැසූ කතාව විශේෂ වන්නේ ඉන්පසු වූ බිහිසුණු සිදුවීම අනුවය. එහිදී ඇය කීවේ ‘මම ජීවිතයට බයත් නෑ බය කියන එක හඳුනන්නෙත් නෑ. ලේ කඳුළුවලින් හදපු ආණ්ඩුව පෙරළන්නත් බැහැ’ කියලාය.

හරියටම ඡන්දය පවත්වන්නට දින තුනකට පෙර එනම් දෙසැම්බර් 18 දා කොළඹ නගර සභා පිටියේ පැවැති පොදුජන එක්සත් පෙරමුණු අවසන් රැලියට පැමිණි චන්ද්‍රිකා මැතිනිය සිය කතාව පවත්වා ඉන්පසු වේදිකාවෙන් බැස සිය වෙඩි නොවදින මෝටර් රථය වෙත එද්දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේදී මරාගෙන මැරෙන කොටි බෝම්බයක් පත්තු වූයේය. හිස කඳින් වෙන්වූ කොටි කාන්තාවගේ සුන්බුන් අනුව එය කොටින්ගේ වැඩක් මිස වෙන කවරකුටවත් කළ නොහැක්කක් බැව් පොලිසියේ අදහස වූයේය.

එක්සත් ජාතික පක්ෂයේ ජා-ඇළ ආසනයේ අවසාන රැස්වීම එදින පැවතියේ ජා-ඇළ, ලුර්දු ක්‍රීඩාංගණයේ දීය. එය පිහිටියේ ජා-ඇළ නගරය මධ්‍යයේය. එක්සත් ජාතික පක්ෂයේ රැස්වීම ඇමතීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකු පැමිණ සිටි අතර ජෝශප් මයිකල් පෙරේරා හා ජයලත් ජයවර්ධන යන මන්ත්‍රීවරු ද ඒ අතර වූහ. මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු රණවිරුවෝ රැසක්ද එහි සිටියහ. හදිසියේ පිපිරූ අධිබලැති බෝම්බය නිසා මේජර් ජෙනරාල් ලකී අල්ගම ඇතුළු 15 දෙනෙක් ඝාතනයට ලක්වූහ. ලුර්දුපිටිය එකම යුද පිටියක් වී තිබිණි. රාත්‍රී විදුලි පහන් එළියෙන් දිස්වූයේ තැන තැන වැතිර තිබූ සිරුරු හා වේදිකාවේ සුන්බුන් පමණය.

කොටි ඩයස්පෝරාව ප්‍රභාකරන්ව බේරා ගැනීම සඳහා එම පිපිරීම හමුදා බුද්ධි අංශය සිදු කළ බවට ප්‍රතිචාරයක් දියත් කළේය. එවකට හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි සුනිල් තෙන්නකෝන් එම පිපිරීම පසුබිමේ සිටින බවට වාර්තාවක් ද රහස් පොලිසිය ප්‍රකාශයට පත් කළ අතර රැස්වීම් පැවැති වේදිකාවට නැඟ අත්බෝම්බයක් පුපුරුවා හැරීමට දුරස්ථ පාලකයක් භාවිත කළේ තෙන්නකෝන්ගේ මිතුරකු බවත් එම වාර්තාවේ සඳහන් විය.

මේ නිසා සුනිල් තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිස් අධ්‍යක්ෂව සිටි ඕපාත හේමචන්ද්‍ර ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලුවත් අවසර ලැබුණේ නැත. එසේ වුවත් වසර කීපයකට පසු කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් පැවසූවේ එජාප රජයක් යටතේ ලකී අල්ගම හමුදාපති වුවහොත් කොටින්ට දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවන බවයි. මෙලෙස ලකී අල්ගම ඝාතනයෙන්ද භාකරන්ව බේරා ගැනීමට විවිධ පාර්ශ්ව ඉදිරිපත් වූවත් එ. ජා. ප රජයක් බලයට පත්වූවත් ලකී අල්ගම ඝාතනය ගැන පරීක්ෂණ ආරම්භ වූයේ නැත. මේ අතර ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඝාතනයට මූලික වූයේ ආරක්ෂක දුර්වලතාවයන් බව සනාථ විය. මේ ආරක්ෂක දුර්වලතාවයක් ගැන පරීක්ෂණ පැවැත්වීමක් සිදු වූයේ නැත. එසේම ආරක්ෂක අංශවල කොටි ඔත්තුකරුවන් සිටින්නේද යන්න ගැන ද නිරීක්ෂණයක් කර නොමැත.

කෙසේ වුවද, ඡන්දය පැවැතියේ මේ බිහිසුණු බව මැදය. චන්ද්‍රිකාට එල්ල වූ මෙම ප්‍රහාරය ඇය පිළිබඳව අනුකම්පාවකට පරිවර්තනය වී ලැබෙන්නට තිබුණු ඡන්ද ප්‍රමාණයට වඩා ඉහළ ඡන්ද ප්‍රමාණයක් ලැබුණත් බැව් එකල කියැවිණ. ඇසක් අන්ධ කරගත් චන්ද්‍රිකා 1999 දෙසැම්බර් 21දා පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද 4,312,157ක් ලබා ජයග්‍රහණය කළාය. ප්‍රතිවාදියා වූ රනිල් වික්‍රමසිංහ ලබා ගත්තේ ඡන්ද 3,602,748කි.

එම්. තාරික්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here