24
1999 ජනාධිපතිවරණයේ සිදුවූ වැදගත් සිදුවීමක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමයි. ඒ ජනාධිපතිවරණයට දින තුනකට පෙරයි.
2005 ජනාධිපතිවරණයට දේශපාලන පරිණත බව අතරින් ඉදිරියෙන් සිටියද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නවක මුහුණක් එක්විය. ඒ මහින්ද රාජපක්ෂයි.
ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙසින් නම් කරනු ලැබුවේ විලියම් ගොපල්ලව මහතාය. නමුත් ඔහු විධායක ජනාධිපතිවරයකු නොවීය. විධායක ජනාධිපති ධුරය ඇතිවූයේ ජුනියස් රිචඩ් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමත් සමඟිනි. එමඟින් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට විධායක බලයක් එක්විණි. මේ සමඟම ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය 1982 දී පැවැත්විණි. මේ සඳහා ඡන්ද දායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් එක්වී සිටියහ. මේ සඳහා අපේක්ෂකයන් හයදෙනෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වූ අතර, ස්වාධීන අපේක්ෂකයන් තිදෙනකු නාමයෝජනා භාර දීමේදී ප්‍රතික්ෂේප විණි. එහිදී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවන් ලෙසින් දැක්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජේ.ආර්. ජයවර්ධන, ශ්‍රී.ල.නි.ප. හෙක්ටර් කොබ්බෑකඩුව, ජනතා විමුක්ති පෙරමුණෙන් රෝහණ විජේවීර, නව සම සමාජ පක්ෂය නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයෙන් කුමාර් පොන්නම්බලම් සහ ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් කොල්වින් ආර්. සිල්වා ද ඒ අතර විය.
ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 81%ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ජේ.ආර්. ජයවර්ධන ඡන්ද 34,50,811ක් ලබාගනිමින් ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙසින් පත්වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා වූ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 25,48,438ක් පමණි. එහි තෙවැනි තැනට පත්වූ රෝහණ විජේවීර ඡන්ද 2,73,428ක් ලබාගැනීමට සමත්විය. ප්‍රථම විධායක ජනාධිපතිවරයා වශයෙන් ජේ.ආර්. ජයවර්ධන මහතා තම ජනාධිපති ධුර කාලය නිමකරනු ලැබූවේ 1989 ජනවාරි 2 දායි. ඉන් අනතුරුව ලාංකේය දේශපාලන ඉතිහාසයේ දෙවන ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු යෙදී තිබුණේ 1995 වසරේදීය. මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට රජයට සිදුව තිබුණේ භීෂණය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද වර්ජනය කරන ලද පසුබිමකදීය. කෙසේ වෙතත් මේ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ එවක අගමැතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාය. ඡන්ද බලය අතින් ඔහුට සටනක් දියහැකි ලෙසින් ප්‍රතිවාදී අපේක්ෂකයින් අතුරින් ඉදිරියෙන්ම සිටියේ ශ්‍රී.ල.නි.ප.ය නියෝජනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. මහජන පක්ෂය නියෝජනය කරමින් ඔසී අබේගුණසේකර ද එවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය. එහිදී 50.43%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ලබාගැනීමට හැකිවූයේ 44.95% ප්‍රතිශතයක් පමණි. 1988 ජනවාරි 2දා රණසිංහ ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරය භාරගත් අතර, ඔහුට තම සේවා කාලය නිසි ලෙස සම්පූර්ණ කිරීමට නොහැකිවූයේ 1993 මැයි පළමුවැනිදා ඔහුව ඝාතනය කිරීමත් සමඟිනි. ඒ අනුව ඔහුට දෙවන විධායක ජනාධිපතිවරයා ලෙසින් කටයුතු කිරීමට හැකිවූයේ වසර 4කුත් මාස 4ක කාලයක් පමණි.
එවර ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 55.32%ක පිරිසක් පමණි. රට පුරා විහිදී තිබූ භීෂණය මේ සඳහා මූලික වූ අතර, එවර මැතිවරණය අඩුම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ ජනාධිපතිවරණය ලෙස ඉතිහාසගත විය.
ප්‍රේමදාස මහතාගේ මිය යෑමත් සමඟ ජනාධිපති ධුරයේ හිස්වූ අසුන වෙනුවෙන් පත්වූයේ අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටි ඩී.බී. විජේතුංග මහතාය. ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටියේ ඉතා කෙටි කාලයකි. 1993 මැයි 7 වනදා ආරම්භ වූ ඔහුගේ ජනාධිපති කාල සීමාව 1994 නොවැම්බර් මස 12 වැනිදා අවසන් වූයේ අවුරුදු 1යි මාස 6යි දින 10ක් සේවය කිරීමෙන් අනතුරුවය.
1994 යනු තෙවන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් පැවැත්වූ මැතිවරණයයි. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත්වීමය. මෙම මැතිවරණ සටන ආරම්භයේ පටන් ඉදිරියෙන්ම සිටි අපේක්ෂිකාව ලෙසින් කාහටත් පෙනෙන්නට තිබුණේ පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇයට ප්‍රතිවිරුද්ධ අපේක්ෂිකාව වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ශ්‍රීමනී වජිරා දිසානායක මහත්මියයි. ඇය ජනාධිපතිවරණයට එක්වූයේ ගාමිණී දිසානායක මහතා තොටළඟ මැතිවරණ වේදිකාවේදී බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වීමත් සමඟිනි. එම මැතිවරණ ප්‍රතිඵලයන්හිදී පෙන්නුම් කළ විශේෂිතම කරුණ වන්නේ මැතිවරණයකදී ජනාධිපති අපේක්ෂකයකු මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබාගැනීමට චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග මහත්මිය සමත්වීමයි. එහිදී ඇය ලබාගත් ප්‍රතිශතය වන්නේ 62.28%කි. එමෙන්ම ඇය ඡන්ද 47,09,205ක් ලබාගත් අතර දෙවන ස්ථානයට පත්වූයේ ශ්‍රීමනී වජිරා දිසානායක මහත්මියයි. ඇය ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 35.91% ප්‍රතිශතයක් ලබාගන්නා විට එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ සටහන් වූ ඡන්ද සංඛ්‍යාව වන්නේ ඡන්ද 27,15,283කි. මෙහිදී 1994 ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයින් 4 දෙනෙකු ඉදිරිපත් වූ අතර, හඩ්සන් සමරසිංහ සහ ඒ. ජේ. රණසිංහ ස්වාධීන පක්ෂයන්ගෙන් ඉදිරිපත් වූ අතර, සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයෙන් හරිශ්චන්ද්‍ර විජයතුංග ඉදිරිපත් වන විට නිහාල් ගලප්පත්ති ඉදිරිපත් වූයේ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණෙනි. එවර ඇයගේ ජනාධිපති ධුර කාලය නිමාවූයේ 2005 නොවැම්බර් මස 19 වැනි දිනය.
ඉන්පසුව පැවැති 1999 ජනාධිපතිවරණයටද ඇය ඉදිරිපත් වූ අතර, මේ සඳහා අපේක්ෂකයන් 13 දෙනකු ඉදිරිපත් විණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සමඟ ප්‍රබල පක්ෂයක් ලෙසින් අනෙක්පසින් ඉදිරිපත් වූයේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහයි. මෙම ජනාධිපතිවරණයේ සිදුවූ වැදගත් සිදුවීමක් වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමයි. ඒ ජනාධිපතිවරණයට දින තුනකට පෙරයි. එම මැතිවරණ ප්‍රතිඵලවලදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 51.12% ප්‍රතිශතයක් ලබාගනිමින් ජයග්‍රහණය කළ අතර, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගැනීමට හැකි වූයේ 42.71% ප්‍රතිශතයක් පමණි. තෙවන ස්ථානයට පත්වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නන්දන ගුණතිලකයි. ඉතිරි අපේක්ෂකයන් දස දෙනාටම 1%ක හෝ ඡන්ද ප්‍රතිශතය පසුකිරීමට නොහැකි විය. දෙවන වර ජනාධිපති ධුරයට ඇය මුහුණදෙනු ලැබුවේ 2005 නොවැම්බර් 19 දිනය. ඒ අනුව වසර 11 දින 7ක් විධායක ජනාධිපති ධුරයේ රැඳී සිටිමින් වැඩිම කලක් ලංකාවේ ජනාධිපති ලෙසින් පත්ව සිටි අයකු ලෙසින් ඇය ඉතිහාස පොත් අතරට එක්විය.
2005 ජනාධිපතිවරණයට දේශපාලන පරිණත බව අතරින් ඉදිරියෙන් සිටියද ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට නවක මුහුණක් එක්විය. ඒ මහින්ද රාජපක්ෂයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ එක්වන විට ඔහුගේ ප්‍රතිවාදියා වූයේ රනිල් වික්‍රමසිංහයි. එම මැතිවරණයේදී 50.29% ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළ අතර, රනිල් වික්‍රමසිංහට ලබාගැනීමට හැකිවූයේ 48.43% ඡන්ද ප්‍රතිශතයකි. තෙවැන්නා ලෙසින් සිරිතුංග ජයසූරිය එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් 0.36% ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය.
2010 ජනාධිපතිවරණයේදී ද 2005 ජනාධිපතිවරණයේදී මෙන් නවක මුහුණක් ජනාධිපති අපේක්ෂකත්වයට පත්විය. ඔහු යුද හමුදාපතිවරයා ලෙසින් කටයුතු කළ සරත් ෆොන්සේකාය. මෙවර ජනාධිපතිවරණය පැවැතියේද වසරකට පෙරාතුවය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වූයේ හංසයා ලකුණෙනි. මහින්ද රාජපක්ෂ මහතා දෙවන වරට ජනාධිපති ධුරය අපේක්ෂාවෙන් ඉදිරිපත් වූ අතර, මෙය වඩාත් උණුසුම් වූයේ යුද්ධය ජයග්‍රහණය කළ නායකයන් දෙදෙනකුම තරග බිමේ සිටි බැවිනි. එහෙත්, ජනාධිපතිවරණ ප්‍රතිඵල මඟින් 57.88%ක ප්‍රතිශතයක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ අතර, සරත් ෆොන්සේකාට ලබාගැනීමට හැකි වූයේ 40.15%ක ඡන්ද ප්‍රතිශතයකි. තෙවැනියා ලෙසින් මොහොමඩ් නාසීම් මොහොමඩ් ඉස්මයිල් ලබාගත්තේ 0.38% ඡන්ද ප්‍රතිශතයකි. මෙම මැතිවරණය සඳහා අපේක්ෂකයන් 22ක් ඉදිරිපත් වූ අතර, එතෙක් කාලයක් වැඩිම අපේක්ෂකයින් ඉදිරිපත් වූ ඡන්ද සටන එය විය. මෙම මැතිවරණයේදී වඩාත් විශේෂිතම සිදුවීම වූයේ ජයග්‍රහණය කරනු ලැබූ මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා හැර සෙසු අපේක්ෂකයින් සියලු දෙනාටම ලබාගත හැකිවූයේ 1.97%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. මේ නිසා ඉතිරි අපේක්ෂකයින් 20 දෙනාගේම ඇප මුදල රාජසන්තක විය. ඉන් අනතුරුව පැමිණි 2015 ජනාධිපතිවරණයේදී ද මහින්ද රාජපක්ෂ මහතා අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙසින් ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා ලෙසින් කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාය. එම මැතිවරණයේදී ඡන්ද 62,17,162ක් ලබාගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා 51.28% ප්‍රතිශතයකින් ජනාධිපතිවරයා ලෙසින් පත්වූ අතර, මහින්ද රාජපක්ෂ මහතාට ලබාගැනීමට හැකිවූයේ 47.58%ක ඡන්ද ප්‍රතිශතයකි. එවර මැතිවරණයේදී ඡන්ද අපේක්ෂකයින් 19 දෙනකු ඉදිරිපත් වූ අතර, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා හැර ඉතිරි අපේක්ෂකයන්ට 0.51% සීමාව පසුකිරීමේ හැකියාව නොලැබිණි.
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සටන වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදියා ලෙසින් ඉදිරිපත් වූයේ සජිත් ප්‍රේමදාස මහතාය. ඒ අනුව 2019 මැතිවරණයේදී ඡන්ද 6,924,255ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරනු ලැබුවේ 52.25%ක ඡන්ද ප්‍රතිශතයක් ද සමඟිනි. ඔහුගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට ලබා ගැනීමට හැකිවූයේ 41.99%ක ඡන්ද ප්‍රතිශතයකි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාට තම ජනාධිපති ධුර කාල සීමාව සම්පූර්ණ කිරීමට නොහැකිවිණි. ඊට හේතුවූයේ රටේ බහුතරයක් මහජනතාව අතුරින් මතුවූ අරගලයයි. ඒ සමඟම ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය අත්හැරදමා යාමට සිදුවිය. මේ නිසා පාර්ලිමේන්තුව තුළ සිදුවූ ඡන්ද විමසීමකින් ජනාධිපතිවරයා තේරීමට කටයුතු සම්පාදනය කෙරිණි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩලස් අලහප්පෙරුම මේ සඳහා තරග කළ අතර, ඉන් ජයග්‍රහණය කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතාය. ඒ අනුව ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා වීමේ වරම ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහතාටය.
රජිත බස්නායක