Home Politics News Room : අත නැතිවූ මැතිනියට දිනේෂ්ගෙන් රෝදය

News Room : අත නැතිවූ මැතිනියට දිනේෂ්ගෙන් රෝදය

0
0

මෙරට පළමු ජනාධිපතිවරණයේ සිට 2024 මෙවර ජනාධිපතිවරණය දක්වා සියලු ජනාධිපතිවරණවල සජීවී අත්දැකීම් සහිත දේශපාලන නායකයන් සිටී නම් ඒ එක්කෙනෙක් හෝ දෙන්නෙකි. මහරගම අතුරු මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණේ රෝදය ලකුණින් 1983දී විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගෙන පාර්ලිමේන්තුවට පිවිසි දිනේෂ් ගුණවර්ධන වර්තමාන අග්‍රාමාත්‍යවරයා, මෙරට සියලු ජනාධිපතිවරණවල සජීවී අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨතම දේශපාලන නායකයෙකු ලෙස සැලකිය හැකිය. ජාතියේ මුදුන් මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින මහනුවර මාලිගය අබියස ප්‍රතිඥා දෙමින් ඇරඹි ඔහුගේ පාර්ලිමේන්තු ගමනට මේ වනවිට වසර 40කි. ඔහුගේ දේශපාලන ජීවිතය වසර 50 ඉක්මවා යයි. මහජන එක්සත් පෙරමුණට 1973 සිට නායකත්වය දෙන, දිනේෂ් ගුණවර්ධන, ලොව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයකට වැඩිම කාලයක් නායකත්වය දෙන ජීවතුන් අතර සිටින එකම නායකයා ලෙසද හැඳින්විය හැකිය.

පාර්ලිමේන්තුවට පිවිස නොසිටි, එහෙත් තරුණ ජාතික නායකයෙකු ලෙස සියල්ලන්ගේ ගෞරවයට පාත්‍රවෙමින් සිටි අසූව දශකයේ මුල් අවධියේ පැවති, මෙරට පළමු ජනාධිපතිවරණයේදී ඔහු ඉටු කළේ තීරණාත්මක භූමිකාවකි. ප්‍රජා අයිතිය අහෝසි කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පළමු ජනාධිපතිවරණයට (1982) ඉදිරිපත් වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබිණි. එය, ශ්‍රීලනිපය ඇතුළු විපක්ෂය බරපතළ අර්බුදයකට ඇද දැමීමක් විය. අනෙක් පැත්තෙන් ශ්‍රීලනිපය අභ්‍යන්තරයේ ඇතිවූ කැරැල්ල නිසා පක්ෂය දෙකඩ වී ගියේය. මැතිනියට එරෙහිව පක්ෂයේ පිරිසක් අධිකරණයට යාම නිසා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අත ලකුණ නොමැති විය. අවසානයේ නායිකාවට ඉදිරිපත් වීමේ නීතිමය අයිතියත්, වෙනත් කෙනෙකු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළත් ඒ උදෙසා පක්ෂයේ ලකුණත්, විපක්ෂයේ ප්‍රබලම පක්ෂය වන ශ්‍රීලනිපයයට අහිමි වී තිබුණේය.

හෙක්ටර් කොබ්බෑකඩුව මහතා, විපක්ෂයේ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට, මැතිනිය ඇතුළු නායකයෝ අවසානයේ තීරණය කළහ. අභියෝගයක් ඉතිරි විය. ඒ, ඡන්ද ලකුණ කුමක්ද යන්නයි.

මෙම අවස්ථාවේ සිදු වූ ක්‍රියාදාමයේ සජීවී අත්දැකීම් සහිත මහජන එක්සත් පෙරමුණේ ඉදිරි පෙළ නායකයෙකු වූ, වර්තමානයේ එම පක්ෂයේ උප ලේකම් විජය රත්නායක මහතා ඒ පිළිබඳ මතකය අවදි කළේ මෙසේය.

“මැතිනියට ඉල්ලන්න බැරි නිසා අවසානයේ කොබ්බෑකඩුව මහතාගේ නම යෝජනා කළා. ඒත්, ඡන්ද ලකුණක් නෑ. ලකුණක් සොයමින් සිටියා. ටී.බී. ඉලංගරත්න, හෙක්‍ටර් කොබ්බෑකඩුව, විජය කුමාරතුංග වැනි කණ්ඩායමක් කිව්වා, රෝදය ලකුණ සුදුසුයි කියලා. රෝදය, අපේ පක්ෂයේ මහජන එක්සත් පෙරමුණේ ලකුණ. 1956 එස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන ඇතුළු බලවේගය මහා විජයග්‍රහණය ලබාගත් පක්ෂයේ ලකුණ. ඒ කාලෙ ම.එ.පෙ. විධායක සභාවේ සාමාජිකයෙක් වුණ මට තමයි, ටී.බී. ඉලංගරත්න මහතාගෙන් මේ පණිවුඩය ආවෙ. මම ගිහින් ඉලංගරත්න හමුවුණා. ඔහු කිව්වා, රෝදයෙන් කොබ්බෑකඩුවට තරග කරන්න අවස්ථාව දෙන්න කියලා. ඒ සාකච්ඡාව අනුව මම කිව්වා, එය පක්ෂ නායක දිනේෂ්ට දැනුම් දීලා, ම.එ.පෙ. මධ්‍යම කාරක සභාවට දැනුම් දෙන්නම් කියා. ඒ කාලෙ ම.එ.පෙ. සමස්ත ලංකා තරුණ සමිති සම්මේලනයේ ලේකම් වුණෙත් මම. දීර්ඝ සාකච්ඡාවකින් පසු, දිනේෂ් ඇතුළු පක්ෂය, ලකුණ දෙන්න කැමති වුණා. ඒක දිනේෂ්, දේශපාලන නායකයෙකු ලෙස, ම.එ.පෙ. පක්ෂයක් ලෙස ගත්ත භාරදූර හා පරිත්‍යාගශීලි තීන්දුවක්. අනෙක් පැත්තෙන් සහෝදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීමට ගත් එඩිතර තීරණයක්. පස්සෙ, මම හා දිනේෂ් ගුණවර්ධන මහතා, නුගේගොඩ ඉලංගරත්න මහතාගෙ නි‍ෙවසට ගොස් අපේ කැමැත්ත නිල වශයෙන් දැනුම් දුන්නා. මේ ආරංචිය පැය කිහිපයක් ඇතුළත පැතිරුණා.

ඒ එක්කම අනුර බණ්ඩාරනායක මහතා කණ්ඩායමක් දිනේෂ්ගෙ කිරුළපන නි‍ෙවසට එව්වා, රෝදය ලකුණ දෙන්න එපා කියන්න කියලා. මමත් එතන හිටියා. ඔය අතරේ කොබ්බෑකඩුව රෝදයෙන් තරග කරනවා කියා පත්තරෙත් පළ වුණා. පස්සෙ එකල ආණ්ඩුව අත ලකුණට තිබූ තහනම ඉවත් කළා. මම හිතන්නෙ 1956 විජයග්‍රහණය කළ රෝදය ලකුණට එකල ආණ්ඩුව බිය වුණා. අනික ආණ්ඩුව හිතුවෙ නෑ, දිනේෂ්, රෝදය ලකුණ දෙයි කියලා. පස්සෙ, කොබ්බෑකඩුවට අත ලකුණින් තරග කරන්න පුළුවන් වුණා.”

මේ අතරතුර ඉතා අවාසනාවන්ත මාර්ග අනතුරක් සිදු විය. එවකට 80 දශකයේ ජාතික දේශපාලනය තුළ මහත් සක්‍රිය නායකයෙකු වූ ම.එ.පෙ. නායක, දිනේෂ් ගුණවර්ධන, පන්නිපිටිය ප්‍රදේශයේදී අනතුරට ලක්විය. ඔහුට නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වූ අතර, පසුව වෛද්‍ය උපදෙස්ද නොතකා, ජනාධිපතිවරණයේදී කිහිලිකරුවෙන් රටවටා ගොස් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙමින් සිය යුතුකම ඉටු කළේය. කොබ්බෑකඩුව මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වුවද දිනේෂ් නියෝජනය කළ මහරගම ආසනය ජයගත්තේය.

එම ජනාධිපතිවරණය ඉතිහාසගත වන තවත් සිදුවීමක් වූයේ, විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව ඡන්දය දැමීමට යාමේදී, ඔහුගේ ඡන්දය කිසිවෙකු විසින් භාවිත කරනු ලැබ තිබීම නිසාය. එපමණක් නොව, කොමියුනිස්ට් පක්ෂයේ නායක පීටර් කේනමන්ගේ ඡන්දයත්, ඔහු ඡන්ද පළට එනවිට දමා අවසන් වී තිබිණි.

අනතුරුව, 1989 ඇතුළු මෙතෙක් පැවති සියලු ජනාධිපතිවරණයන්හි ක්‍රියාකාරීව කටයුතු කරමින් සජීවී අත්දැකීම් ඇති දිනේෂ් ගුණවර්ධනට මෙවර ජනාධිපතිවරණය විශේෂ එකකි. ඒ, රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු එම ආණ්ඩුවේ ජනාධිපතිවරයාට සහාය දැක්වීමයි. ඒ වගේම ඒ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණේ කණ්ඩායමට නායකත්වය දීමේ වගකීමද ඔහු උර මත පැටවී තිබේ.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here