28
භීෂණය මධ්‍යයේ පැවති ජනාධිපතිවරණයක් ලෙස 1988 දෙසැම්බර් 19 දා පැවති දෙවැනි ජනාධිපතිවරණය හැඳින්විය හැකිය. එක්සත් ජාතික පක්ෂයේ ආර්. ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 227,339 න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ලෙස පත්වූයේය. මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වූවත් මෙරට මැතිවරණ ක්‍රමයේ විශාල බිඳ වැටීමක් පැවතුණ බව ප්‍රකාශ විය. ජනතා විමුක්ති පෙරමුණේත් රජයේත් භීෂණය නිසා මේ තත්ත්වය උදා වී තිබිණ. ඡන්ද පොළ වෙඩි තැබීම්, මැතිවරණ නිලධාරීන්ගේ ඝාතන, දිස්ත්‍රික්ක 13ක ඡන්ද පොළ 207ක ඡන්ද පෙට්ටි එකදු ඡන්ද පත්‍රිකාවක් හෝ නොමැතිව ආපසු හරවා එවා තිබිණ. මෙයින් ඡන්ද පොළ 79ක්ම මාතර දිස්ත්‍රික්කයෙන් වීමෙන් ඔවුනට ප්‍රමුඛත්වය ලැබිණ. ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ මෙතරම් භීෂණයට ලක් වූ මැතිවරණයක් තිබුණේ ද යන්න සැක සහිත බව විශ්ලේෂකයන්ගේ මතය විය. 1987 රාජ්‍ය නාට්‍ය උලෙළ අවසාන වටයට නාට්‍ය තෝරා ගැනීම පිළිබඳව දඩි විරෝධතා, මතභේද, ඇනුම් බැණුම්, කැලෑ පත්තර හා වාද විවාද පැන නැගුණේ සාමාන්‍යයෙන් එවැනි දේ සිදුවන අවසාන ප්‍රතිඵල නිකුත්වීමටත් පෙරය. මෙම තත්ත්වයට විරෝධයපෑමක් ලෙස උලෙළ ප්‍රදර්ශනයට ආරාධනා ලැබ තිබූ පෙර වර්ෂයේ හොඳම නාට්‍ය “මරාසාද්” නිෂ්පාදක ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා තම නාට්‍ය උලෙළ ප්‍රදර්ශනයෙන් ඉවත් කරගන්නා බව ප්‍රකාශ කිරීමෙන් තත්ත්වය උග්‍ර විය. කලා මණ්ඩලය, නාට්‍ය අනු මණ්ඩලය හා සුගතපාල ද සිල්වා අතර විවිධ ලිපි හුවමාරු, පුවත්පත් වාර්තා මධ්‍යයේ වුව සුගත් තම තීරණය වෙනස් කර නොගැනීමෙන් තත්ත්වය උග්‍ර විය. මේ පසුබිමෙහි 1988 නොවැම්බර් 16 වැනි දා ශ්‍රී ලාංකේය නාට්‍යවේදීන්ගේ සංවිධානය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී බිහිවීම මෙරට නාට්‍ය ඉතිහාසයේ ඓතිහාසික සංධිස්ථානයක් සටහන් කරමිනි. නාට්‍යවේදීන්ගේ සංවිධානය පිහිටුවීමෙහි ඉදිරි පෙළ බහුතරය ආණ්ඩු විරෝධී හා ජනතා විමුක්ති පෙරමුණ හිතෛෂීන් ලෙස හඳුන්වා තිබිණ.
අවසාන වටය සඳහා තෝරාගත් නාට්‍ය අතර නොවූ ප්‍රතික්ෂේප කළ “හෙණ, පැන්ස දෙකේ හංසයා හා මහා විද්‍යාඥයා සහ ඔහුගේ බිරිඳ” යන නාට්‍ය, අවසන් වටය සඳහා තෝරා ගන්නා ලෙස නාට්‍යවේදීහු ඉල්ලා සිටියහ. නාට්‍ය අනුමණ්ඩලය සමඟ මේ පිළිබඳව පැවැත් වූ සාකච්ඡාව සඳහා නාට්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින් සහභාගි වී ඇත්තේ රංජිත් ධර්මකීර්ති, ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ලාල් කුලරත්න, බුද්ධදාස ගලප්පත්ති, පරාක්‍රම නිරිඇල්ල, විජිත ගුණරත්න හා ඩග්ලස් සිරිවර්ධන ආදී නාට්‍යවේදීන් ය. රාජ්‍ය නාට්‍ය උත්සවයේ අවසාන වටයට මෙකී නාට්‍ය ඇතුළත් කිරීමට නාට්‍ය අනුමණ්ඩලය එකඟවීමම නාට්‍යවේදීන්ගේ සංවිධානය ලද ජයග්‍රහණයක් ලෙස සැලකිණි. අවසාන වටයට තෝරා නොගත් අසෝක හඳගමගේ “හෙණ”නාට්‍ය රචනයට ස්වීය රචනය තුන්වන ස්ථානය හා තිළිණය හිමිවීම ද කැපී පෙනුණි.
ශ්‍රී ලාංකේය නාට්‍යවේදීන්ගේ සංවිධානයෙහි ආරම්භය හා එවැන්නක් පිහිටුවීමෙහි පුරෝගාමී වූ නාට්‍යවේදීන් කවුරුන් ද යන්න හඳුනාගැනීම හා සිහිකිරීම වටී යැයි සිතමි. අද දවසේ අප අතර නොමැති ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා, කේ. බී. හේරත් හා ජයලත් මනෝරත්න පෙරමුණෙහිම සිටි බව මතක ය. විජිත ගුණරත්න, වසන්ත බණ්ඩාර නවරත්න, ජයශ්‍රී චන්ද්‍රජිත්, රූපසිංහ කංකානමගේ, ලාල් කුලරත්න, නිශ්ශංක දිද්දෙණිය, දීපානි සිල්වා හා තවත් බොහෝ පිරිසක් පැපිලියාන කේ. බී. හේරත් නාට්‍යවේදියාගේ ඥාති සොහොයුරකුගේ නිෙවසෙහි සුබ මුහුර්තයෙන් සංවිධානයේ කටයුතු ඇරැඹුණු අතර, 1989 මහමැතිවරණයේ දී ද ක්‍රියාකාරීව කටයුතු කොට ඇත. ශ්‍රී ලාංකේය නාට්‍යවේදීන්ගේ සංවිධානය පැපිලියානේ දී ඇරැඹීම් නිමිතිකොට ගෙන 1989 මාර්තු 24 දා රාත්‍රියේ විශාල සංස්කෘතික සංදර්ශනයක් ද පැපිලියානේදීම පැවැත්වූ බව මතක ය. 1988 ජනාධිපතිවරණය වෙනුවෙන් මෙන්ම 1989 මැතිවරණ ව්‍යාපාර සඳහා ද අනෙකුත් කලාකරුවන් සමඟ නාට්‍යවේදීහු පෙරමුණ ගත්හ. එම පිරිස වාමාංශික දේශපාලන පිල නියෝජනය කළ කල්හි එක්සත් ජාතික ජාතික පක්ෂය නියෝජනය කරමින් දේශපාලන කරළියෙහි රඟ පෑ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්තයෝ සෘජුවම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණහ. 1989 මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය වැඩිම මනාප ලබමින් එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙහි පළමුවැනියා වූයේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 19618ක් විය. කලාකරුවන් දේශපාලනයට පිවිසීම ජනතාවට කෙබඳු බලපෑම් කළ හැකි ද යන්නට කදිම නිදසුන වන්නේ ගාමිණී ෆොන්සේකා ය. පසු කලක ඔහු නියෝජ්‍ය කථානායක ධුරය මෙන්ම ආණ්ඩුකාරවරයකු ලෙස ද කටයුතු කිරීම තුළ පෙනී යන්නේ තනතුරට සුදුසුකම් ඇත්තකු නම් කලාකරුවකු ලෙස ඔහුට හෝ ඇයට ඉහළම ස්ථානයක් හිමිවන බවයි.
බුද්ධදාස ගලප්පත්ති