Home Politics News Room : පත්වන ජනාධිපතිවරයා අබිමුව ඇති අභියෝග

News Room : පත්වන ජනාධිපතිවරයා අබිමුව ඇති අභියෝග

1
0

වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී ඇත. 2019 වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන සමයේ අප සිටියේ සාමාන්‍ය ආර්ථික තත්ත්වයක නමුත් වර්තමානයේ අප සිටින්නේ ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට උත්සාහ දරන කාලවකවානුවකයි. 2019 සිටම රටේ ආර්ථික අර්බුදයක් පැවති අතර 2022 වන විට එහි උච්චතම අවස්ථාවට ගමන් කළේය. එම කාලයේදී උද්ධමනය 70%ක පමණ වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම, උද්ධමනය ඉහළ යෑම, නිෂ්පාදනය බිඳවැටීම, විදේශ විනිමය සංචිත අඩුවීම හමුවේ ආනයනික භාණ්ඩ හිඟවීම, රුපියල අවප්‍රමාණය වීම වැනි දුෂ්කර කාලවකවානුවක් පසු කිරීමට ජනතාවට සිදුවිය.

රටේ ඇතිවුණු මෙම බරපතළ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ණය ගෙවා ගැනීමට නොහැකි රටක් ලෙස ප්‍රකාශ කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් (Extended funds) ලබා ගැනීමට තීරණය කෙරුණි. වර්තමාන රජයේ ආර්ථික ප්‍රතිපත්තිය වී තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිපත්තියයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් විස්තීර්ණ අරමුදල් ලබා ගැනීමේදී ඔවුන් විසින් විවිධ කොන්දේසි පනවනු ලැබිණි. උදාහරණයක් ලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම ඔවුන්ගේ එක නිර්ණායකයකි. ඒ අනුව 2019 දී රජය විසින් අඩු කරනු ලැබූ ආදායම් බදු, සමාගම් බදු වැඩිකර රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට වර්තමාන රජය විසින් පියවර ගැනිණි. ඒ අතරට රාජ්‍ය වියදම් අඩුකර ගැනීම, උපයෝගීතා සේවාවන් සැපයීම පිරිවැය ප්‍රතිසාධන මිල ක්‍රමයක් මත සිදු කිරීම, දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස ඉන් මුදා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමයන් සකස් කිරීම, උද්ධමනය ස්ථාවර අගයක පවත්වා ගැනීම, නම්‍යශීලි විනිමය අනුපාතයකට ගමන් කිරීම, මූල්‍ය ස්ථායිතාව, වංචාව දූෂණය නැති කිරීමට පියවර ගැනීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම යන කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට ඉටු කිරීමට ලබා දුන් නිර්ණායකයි. පවතින රජය මෙම නිර්ණායක යම්තාක් දුරකට ඉටුකරමින් පවතින බව අපට දැකගැනීමට හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම තුළ අප මුල් අවධියේ සිටි ආර්ථික අර්බුදයට සාපේක්ෂව යම්තාක් දුරකට සාධනීය තත්ත්වයකට පැමිණ තිබේ. නමුත් සියලු‍ ප්‍රශ්න විසඳී ඇති බව මින් අදහස් නොවේ.

2023 වසරේ අවසන් කාර්තුව සහ 2024 වසරේ මුල් කාර්තුවේ මහ බැංකු දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව වර්තමානයේ යම් මට්ටමක අපේ රටේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමකට පැමිණෙමින් තිබෙන බව පිළිගත යුතු කරුණකි. උදාහරණයක් ලෙස 2022 වසරේ 70%ක පමණ උද්ධමන අගයක් තිබූ අප මේ වන විට යම්තාක් දුරකට එය පාලනය කර ඇති බව පැහැදිලි වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුවේදී සහ 2023 වසරේ අවසන් කාර්තුවේදී ද ධන ආර්ථික වර්ධනයක් දැකගත හැකිය. 2022 වසරේ 7% කින් පමණ සංකෝචනය වූ ආර්ථිකය 2022 වසරට සාපේක්ෂව යම් වර්ධනයක් ලබා ඇත. එමෙන්ම විරැකියා අනුපාතය 4.5%කි. අ‍ෙමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වැඩි වී ඇති අතර මෙරට සතු විදේශ සංචිත මේ වන විට වැඩිවීමක් පෙන්නුම් කරයි. ණය නොගෙවන නිසා මෙම සංචිත පවතින බව තවත් කෙනෙකුට ප්‍රකාශ කළ හැකිය. කාරණය සත්‍ය නමුත් මේ වන විට රජය දේශීය ණය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ නිර්ණායක ඉටුකිරීම තුළ කෙටි කාලයක් ඇතුළත අපේ ආර්ථිකය සාපේක්ෂව හොඳ මට්ටමකට පැමිණ තිබෙන බව නොරහසකි.

නමුත් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 100%ක් හොඳ යැයි ප්‍රකාශ කිරීමට නොහැකි අතර ඒවා ඉටු කිරීමට යෑමේදී සෘණ අතුරු ප්‍රතිඵල ද ඇතිවිය හැකිය. මෙකී කොන්දේසි සපුරාලීමට යෑමේදී ජනතාව පීඩාවට පත්ව තිබෙන බවද අවධාරණය කළ යුතුයි. මේ හේතුව නිසා ශ්‍රම වෙ‍ෙළඳපොළේ සිටින ඵලදායී මිනිසුන් සංක්‍රමණය වීමට පටන් ගෙන ඇත. වර්තමානයේ ලංකාවෙන් සංක්‍රමණ වන පුද්ගලයන් දෙස අවධානය යොමු කිරීමේදී ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කථිකාචාර්යවරුන්, හෙද නිලධාරීන් හා ගුරුවරුන් වැනි වෘත්තිකයින් ප්‍රධානය. මෙම තත්ත්වය රටට ඒතරම් සුබදායී වන්නේ නැත. එමෙන්ම ආර්ථිකය සංකෝචනය වූ අවස්ථාවක බදු වැඩි කිරීම එතරම් යහපත් නොවේ.

මෙවැනි අයහපත් ප්‍රතිඵල අවම කර ගනිමින් ආර්ථික වර්ධනය ඉහළ දමා ගැනීම ඉදිරියේ බලයට පත්වන ජනාධිපතිවරයාගේ ප්‍රධාන අභියෝගය ලෙස පෙන්වා දිය හැකිය. මේ අවස්ථාවේ කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලින් ඉවත් වීමට නොහැකි අතර ඉදිරියට පත්වන ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමටත් මේ සමඟ ඉදිරියට යාමට සිදු වේ. ආර්ථික වර්ධනයට අමතරව සංවර්ධන සහ සුබසාධනය වැඩි කිරීම උදෙසා සහස්‍ර සංවර්ධන ඉලක්ක (වඩා වැදගත් ඉලක්ක කිහිපයක් හෝ) සපුරාලිය යුතුයි.

ආර්ථික වර්ධනය හා ගුණාත්මක අධ්‍යාපනය

අට වන සහස්‍ර සංවර්ධන ඉලක්කය වන්නේ ආර්ථික වර්ධනයයි. එනම් කාලයත් සමඟ අපගේ දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවිය යුතුය. මේ සඳහා ආයෝජන වැඩි කිරීම, තාක්ෂණ ක්ෂේත්‍රය දියුණු කිරීම, කර්මාන්ත ක්ෂේත්‍රය තුළ නවෝත්පාදන වැඩිකිරීම, ව්‍යවසායකත්ව සංවර්ධනය වැඩි කිරීම කළ යුතුය. මේවා සපුරා ගැනීමට නම් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට කටයුතු සම්පාදනය කළ යුතුයි. කොවිඩ් වසංගත තත්ත්වයේ සිට ආර්ථික අර්බුදයත් සමඟම විශේෂයෙන්ම පාසල් අධ්‍යාපනයේ පසුබෑමක් දක්නට ලැබුණි. මේ නිසා ආර්ථික වර්ධනය අරමුණු කර ගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කළ යුතු වේ.

සෞඛ්‍යය සහ සුබසාධනය

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීම ශ්‍රම වෙ‍ෙළඳපොළේ ඵලදායිතාව වැඩි කිරීමට හේතුවේ. ශ්‍රම වෙ‍ෙළඳපොළේ ඵලදායි මිනිසුන් රඳවා ගැනීම සඳහා ප්‍රතිපත්ති සකස් කළ යුතුයි. ශ්‍රම වෙ‍ෙළඳපොළේ ඵලදායිතාව අඩුවීම හරහා ආර්ථික වර්ධනය කර ගැනීමේ සිහිනය තවත් දුරකට යා හැකිය. මෙයද එක්තරා අභියෝගයක් ලෙස හඳුන්වා දිය හැකිය. රටේ ජනතාවට නොමිලේ සෞඛ්‍ය පහසුකම් ලබා දෙනවා සේම එම සෞඛ්‍ය සේවාවන්වල ගුණාත්මකභාවය සොයා බැලීමද ඉතා සුවිශේෂී වැදගත් කරුණකි.

දරිද්‍රතාව තුරන් කිරීම හා ආදායම් බෙදීයාමේ විෂමතාව

2019 වසරට පෙර දරිද්‍රතාව තුරන් කිරීමේ සාධනීය මට්ටමක ශ්‍රී ලංකාව සිටි අතර 2019 වසරට පෙර රටේ මුළු දරිද්‍රතාව 4%ක් දක්වා අඩුවී තිබුණි. නමුත් ලබන වසර වන විට දරිද්‍රතාව 22%ක පමණ අගයක් ගනු ඇතැයි ගණන් බලා ඇත. මෙය අපට මුහුණ දීමට තිබෙන විශාලතම අභියෝගයකි. දරිද්‍රතාව තුරන් කිරීම මෙන්ම ආදායම් බෙදීයාමේ විෂමතාව අඩු කළ යුතුයි. ආදායම් බෙදීයාමේ විෂමතාවය අඩු කිරීම මඟින් දරිද්‍රතාවයේ සිටින පිරිසටත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ හිමි කර ගත හැකිය. අධ්‍යාපන ක්‍රමයේ පවතින විෂමතාව තුළින් ආදායම් බෙදීයාමේ විෂමතාව තව තවත් ඉහළ යයි. කොවිඩ් වසංගත සමයේ අධ්‍යාපනයේ අසමානතාව (Inequality) වර්ධනය විය. අන්තර්ජාල පහසුකම් නොමැති දුෂ්කර ගම්මානවල දරුවන්ට මාර්ගගත අධ්‍යාපනයෙන් (Online Education) අධ්‍යාපන කටයුතු කර ගැනීමට නොහැකි විය. නමුත් කොවිඩ් වසංගතය පැමිණ මසක් වැනි කෙටි කාලයක් ඇතුළත සියලු‍ පහසුකම් සහිත නාගරික පාසල් මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළේය. මෙම විෂමතාව තුරන් කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයකි.

ආහාර සුරක්ෂිතතාව

ආර්ථික අර්බුදය පවතින සමයේ බොහෝ ආයතන ලංකාවේ ළමුන් අතර ළමා මන්ද පෝෂණය වර්ධනය වන බව පෙන්වා දුනි. මන්දපෝෂණය ශ්‍රම වෙ‍ෙළඳපොළේ ඵලදායීතාව අඩු කිරීමට සෘජුව බලපානු ලබයි. මන්ද පෝෂණයෙන් පෙළීම හේතුවෙන් අනාගතයේදී ශ්‍රමිකයාගේ ඵලදායීතාව අඩුවීමට හේතු වේ. මෙය තුරන් කර ගැනීමට නම් ආහාර සුරක්ෂිතතාව ඇති රටක් බවට පත්විය යුතුය. ආහාර සුරක්ෂිතතාවයේදී, වසර පුරා ආහාර එක හා සමාන ආකාරයෙන් තිබීම, ජනතාවට ආහාර මිලදී ගැනීමට හැකිවීම, මිල අඩුවීම, ආහාරවල ගුණාත්මකභාවය විනාශ නොවී තිබී සම්පූර්ණ විය යුතුය. ලංකාවේ ආහාරවලට වස විස එකතුවීමේ සුලභ බව අප මුහුණ දී තිබෙන විශාලතම අභියෝගයක්. ආහාර සුරක්ෂිතතාව යනු රටේ ජනතාවගේ සෞඛ්‍යයට සෘජුව බලපාන දෙයකි. එම නිසා ආහාරවලට එකතුවන රසායනික ද්‍රව්‍ය අඩු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතුයි.

යටිතල පහසුකම් සංවර්ධනය

යටිතල පහසුකම් සංවර්ධනය කළ යුත්තේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගෙනයි. ආර්ථික වර්ධනය වැඩිවන ආකාරයට යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි. උදාහරණයක් ලෙස කර්මාන්තශාලාවට විදුලි බිල දරා ගත නොහැකි නම් එය සෘණාත්මකව නිෂ්පාදනයට බලපානු ලබයි. ආර්ථික වර්ධනයක් ඇති කිරීමේදී අපනයන සඳහා ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි. ලෝක වෙ‍ෙළඳපොළට අවශ්‍ය අපනයන හඳුනාගෙන ඊට සරිලන ආකාරයෙන් අප ඉදිරියට ගමන් කළ යුතුයි. එහිදී අපනයන ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුයි.

යහපත් වැඩ පරිසරයක්

නිර්මාණය කිරීම (Decent work)

පුරවැසියාට සේවය කිරීම සඳහා යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. යහපත් වැඩ පරිසරයක් රට තුළ නිර්මාණය නොවීම හරහාද වෘත්තිකයන් රට හැර යෑමට පෙ‍ෙළඹේ. වර්තමානයේදී වෙනත් රටවලට සංක්‍රමණය වීමේදී මෙරටින් සංක්‍රමණය වන්නේ රටට අවශ්‍ය වෘත්තිකයන් හෙවත් ශ්‍රම බළකායේ කොඳුනාරටියයි. රටේ රැකියා නිෂ්පාදනය කරනවා සේම ඔවුන්ට සේවය කළ හැකි වැඩ පරිසරයක් නිර්මාණය කළ යුතුයි. සමාජ ආරක්ෂණය, ආදායම් සුරක්ෂිතතාව මෙන්ම යහපත් වැඩ පරිසරයක් ශ්‍රමිකයන්ට අවශ්‍ය බව පෙන්වා දිය හැකිය.

රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම

රටේ පවතින ආයතන විශේෂයෙන්ම රාජ්‍ය ආයතන මීට වඩා ශක්තිමත් විය යුතුයි. එම ආයතන තුළ දූෂණ, වංචා දුරු කරමින් ලබා දෙන සේවාවන් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ජනතාවට සේවය සපයන ආයතන බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. එමෙන්ම මේ සියලු‍ ආයතන ජනතාවට වග කියන ජනතාවට අවශ්‍ය සේවාව කඩිනමින් ලබාදීමටත් කටයුතු කිරීම අවශ්‍යවේ.

දේශගුණ විපර්යාසවලට

මුහුණ දීමේ හැකියාව සංවර්ධනය

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ හැකියාව මීට වඩා වර්ධනය කරගත යුතුයි. සෑම වර්ෂයකම නියඟ, ගංවතුර, නායයෑම් වැනි කාලගුණික විපර්යාසවලින් රටේ එක් එක් ප්‍රදේශ පීඩාවට පත්වේ. මේවායේ ප්‍රතිඵල ලෙස ජීවිත හානි, දේපළ හානි, වගා හානි දැකගත හැකිය. මෙය ජනතාවගේ සුබසාධනයට අහිතකර ලෙස බලපානු ලබයි. එම නිසා මේ සඳහා අලු‍තින් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. මෙම විෂයෙහි නිරත වන ආයතන ඒකාබද්ධ කර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. නිරන්තරයෙන් ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම නිරන්තරයෙන් ආපදාවට ලක්වන ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ ඒ ප්‍රදේශවලට යෝග්‍ය භෝග වගාවන් හඳුන්වාදීම රජය මඟින් සිදුකළ හැකිය. මේ සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා රජය ආයෝජනය කිරීම හා ප්‍රතිපාදන වෙන් කළ යුතුය. ආපදාව කලින් හඳුනා ගැනීම සඳහා දත්ත කළමනාකරණය කිරීම, ඒවා යාවත්කාලීන කරමින් පවත්වාගෙන යෑම නිරන්තරයෙන් කළ යුතුය. ඉදිරියේදි බලයට පත්වන ජනාධිපතිවරයාට මෙවැනි අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වන බව කිව යුතුයි.

 

රුවන් පුෂ්පකුමාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here