Home Politics News Room : මොරවක ශ්‍රාවණී මන්දිරය – ජනතා සේවයට කැප වූ මාතර...

News Room : මොරවක ශ්‍රාවණී මන්දිරය – ජනතා සේවයට කැප වූ මාතර දේශපාලනඥයන් දෙදෙනකුගේ නිවහන

1
0

මොරවක නගරයේ සිට යාර පනහක් පමණ දෙණියාය දෙසට ඇති නොම්මර හතළිහ සැතපුම් කණුව අසලින්, දකුණු දෙසට ඇති පාරක් ඔස්සේ ගොස් අලංකාර වලව්වට පිවිසිය හැකිය. එහි අතීතයේ විසූවන් අතර පඬිකාර මොහන්දිරම්වරයකු මෙන්ම ඔහුගේ පුත්‍රයකු වූ මාතර දිසා ඇමැති ලෙස කටයුතු කළ අයෙකු මෙන්ම මාතරින් බිහිවූ දෙවැනි මන්ත්‍රීවරියගේද වාසභූමිය විය.

එහි විසූ එකල දේශපාලන චරිත වූයේ 1987 අගෝස්තු 18 වෙනි අඟහරුවාදා පෙරවරුවේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ සිදු වූ බෝම්බ ප්‍රභාරයෙන් මිය ගිය මාතර දිසා අමාත්‍ය දෙණියාය, පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම මහතා හා ඔහු මිය යෑමෙන් පසු දෙණියායට පත් කළ මන්ත්‍රී වූයේ ඔහුගේ බාල නැඟණියයි. අන් ලෙසකින් හඳුන්වා දෙන්නේ නම් පුරප්පාඩු වූ දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීධුරය සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් නම් කළ නව මන්ත්‍රීවරිය වන්නේද ඇයයි.

මෙම මන්දිරයේ විසූ 1966 පෙබරවාරි 20 දින මිය පරලොව ගිය සාහිත්‍ය කීර්ති විද්‍යා චක්‍රවර්තී ශාස්ත්‍රපති පී.එෆ්. අබේවික්‍රම පඬිකාර මුහන්දිරම්තුමාට හා 1968 පෙබරවාරි 9 වැනි දින මිය පරලොව ගිය කැතරින් අබේවික්‍රම මහත්මියට දරුවන් හත් දෙනෙක් වූහ.

නන්දා අබේවික්‍රම (විවාහයට පසු ලියනගේ) චන්ද්‍ර අබේවික්‍රම (විවාහයෙන් පසු ජයතිලක) විජේපාල අබේවික්‍රම (නීතිඥවරයෙකි) එස්.ජී. අබේවික්‍රම (සාමාන්‍යාධිකාරී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය) කීර්ති අබේවික්‍රම (මාතර දිසා ඇමැති)ආනන්ද අබේවික්‍රම (ව්‍යාපාරික) කීර්ති ලතා අබේවික්‍රම (දෙණියාය පත් කළ මන්ත්‍රීවරිය) ඒ දරුවන් වූහ.

මෙයට ශත වර්ෂයකට පෙර සිංහල ශබ්ද කෝෂයක් නැති කමේ පාඩුව ගැනත්, ජාතික ගීයක අවශ්‍යතාවත් මතු කළ මහා සාහිත්‍යවේදියා වූයේ ඔවුන්ගේ පියාය‍. ‘සිංහලයට මුල්තැන දිය යුතු ය’ කියා පුවත්පත්වලින් ඉල්ලා සිටිමින් සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලබාදිය යුතු යැයි හඬක් නැඟීමට පුරෝගාමි වූ මොරවක් ‘කෝරලයේ තාත්තා’ ලෙස ප්‍රකටව සිටි ජී. එෆ්. අභයවික්‍රම පඬිකාර මුහන්දිරම් රාලහාමි සාහිත්‍යය ළැදි කිවිවරයෙකි.

දොන් පේද්‍රස් ෆ්‍රැන්සිස් අභයවික්‍රම 1886 මැයි මස 28 වැනිදා මොරවක් කෝරලේ මොරවක උපත ලැබීය. දොන් පේද්‍රිස් ප්‍රදිනන්දියස් අභයවික්‍රම රාලහාමි සහ දෝන සෙබනා ගුණසේකර හෙට්ටිආරච්චි හාමිනේ යන දෙමාපියන්ගේ පුත් රුවනක් වූ ඔහු මොරවක රජයේ සිංහල පාසලෙහි ප්‍රධානාචාර්ය ඩයස් අබේවික්‍රම වැඩිමහල් සොහොයුරාය. මාතර දිසාවේ ගොඩපිටිය වැස්ලියන් මෙතෝදිස්ත මිශ්‍ර පාසල හා මොරවක ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවේද ඉගෙනුම ලැබූ ෆ්‍රැන්සිස් ශිෂ්‍ය ගුරුවරයකු ලෙස කළුතර පනාපිටියේ කලපුගම නෝර්මන් විද්‍යාලයේ පුහුණුව ලබා ඇත. පසුව උප ගුරුවරයකු ලෙස වැලිගම් කෝරලයේ මලිදූව පාසලේ සේවය කොට හිනිදුම් පත්තුවේ දෙල්වල පාඨශාලාවේ විදුහල්පති ලෙස ද කටයුතු කොට විශ්‍රාම ලබා ඇත්තේ කොටපල පාසලේ අධිපති වශයෙනි.

අභයවික්‍රම මුහන්දිරම් විවාහ වූයේ ගාල්ලේ තල්පේ පත්තුවේ පිලානේ පදිංචි ලියනගේ දොන් කොරනේලිස් ද සිල්වා මහතා සහ මා ගෙදර විතානගෙයි දෝන අනෝ මහත්මියගේ එකම දියණිය වූ කැතරිනා ලියනගේ මෙණෙවිය සමඟය.

එතුමාගෙන් භාෂා සාහිත්‍යයට හා සමාජසේවා කටයුතු රාජ සේවය සලකා 1950 රාජොත්පත්ති උත්සවයේ දී කඩුකස්තාන පලඳවා පඬිකාර මුහන්දිරම් ගෞරව නාමය පිරිනමන ලදී.

තමාට ලැබුණු රුපියල් පහළොවේ මාසික වැටුපෙන් රුපියල් දෙක – තුන ඉතුරු කරමින් ස්වත්සාහයෙන් දියුණු වූ මෙතුමා පසු කාලයකදී තේ වතු හිමියෙක් වූ බව ද තරමක ධනයක් රැස් කළ බව ටී.ඇස්. ධර්මබන්ධු විසින් ලියනු ලැබූ ‘සිංහල වීරයෝ’ කෘතියේ සඳහන් වී ඇත.

කීර්තිසේන චන්ද්‍රදාස අබේවික්‍රම ඔහු උපන්නේ 1933 දෙසැම්බර් 20 දිනයි. 1987අගෝස්තු18 දින පාර්ලිමේන්තුවට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේදී අවාසනාවන්ත ලෙස මිය ගියේය. ඒ වන විට ඔහු දෙණියාය ආසනයේ එජාප මන්ත්‍රී මෙන්ම මාතර දිසා ඇමැති විය. 1977-1987 දෙණියාය පාර්ලිමේන්තු මන්ත්‍රී වූ ඔහු මායා අබේවික්‍රම ජයසිංහ සමඟ 1982දී විවාහ විය.

ඔහු අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙනි. මොරවක පවුලේ වත්ත කළමනාකරණය කිරීමට පෙර ඔහු රක්වාන මාදම්පේ සමූහ ව්‍යාපාරයේ තේ වැවිලිකරුවෙකු ලෙස පුහුණුව ලබා ඇත.

ඔහු හිටපු කෘෂිකර්ම සංවර්ධන සහ පර්යේෂණ නියෝජ්‍ය අමාත්‍ය සහ අක්මීමන පාර්ලිමේන්තු මන්ත්‍රී සුමනදාස අබේවික්‍රමගේ ඥාති සහෝදරයෙකි. ඔවුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරග කර පාර්ලිමේන්තුවට තේරිපත් විය.

1982 දෙසැම්බර් 20 දින ඔහු සංගීත ගුරුවරියක්, නීතිඥයෙක් සහ කතුවරියක් වන ආචාර්ය මායා අබේවික්‍රම ජයසිංහ සමඟ විවාහ විය.

1987 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයෙන් අබේවික්‍රම ඝාතනය කරන ලද්දේ එවකට තහනම් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සාමාජිකයන් විසිනි. ඔහුගේ සොහොයුරිය කීර්තිලතා අබේවික්‍රම ඔහුගේ මරණයෙන් පසු දෙණියාය මන්ත්‍රීවරියක් ලෙස පත් කරන ලදී.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල ඔහු නමින් නම් කරන ලදී. ඔහු ඝාතනය වන විට වයස අවුරුදු 52 කි.

පඬිකාර මොහන්දිරම් අබේවික්‍රමගේ බාල දියණිය ලෙස, 1939 නොවැම්බර් මස 20 වැනි දින ජන්ම ලාභය ලැබූ කීර්තිලතා මෙණෙවිය ඈ කිසිදා කිසිවිටෙක නොපැතූ, නොසිතූ ආකාරයේ තනතුරක් දරන්නට සිදු විය. දේශපාලනයට පිවිසෙන්නට ඇගේ කිසිම අදහසක් තිබුණේ නෑ. ඇය සිය අයියා කීර්ති අබේවික්‍රම විඳි දුක් ගැහැට රිසි සේ දැක තිබුණි. ඇය එක්තරා පුවත්පතකට පවසා ඇති පරිදි අයියාට වෙලාවට කැමක් බීමක් නෑ. නාගන්න වේලාවක් නෑ. නිදා ගන්න පවා සිද්ධ වුණේ මධ්‍යම රාත්‍රී දෙගොඩහරියත් පහු වුණාමයි. ඒත්, අයියා ආසාවෙන් වැඩ කටයුතු කළා. කීර්ති අබේවික්‍රම දෙණියාය ආසනයට විශාල වැඩ කොටසක් කළා. ‘ අයියා වටා විශාල පිරිසක් එකතුවෙලා හිටියා. විශේෂයෙන් තරුණ පිරිස්, කොහොම නමුත් අයියාට අවසානයේ ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කරන්නත් සිදු වුණා. අයියා වටා සිටි පිරිස් දේශපාලන අනාථයන් වනු දකින්න මා කැමැති වුණේ නැහැ. ඔවුන්ගේ දැඩි පෙරැත්තය නිසාම මට මන්ත්‍රී ධුරය භාරගන්න සිදු වුණා.Ó මම මායා අක්කාට කීවා, මන්ත්‍රී ධුරය භාරගන්න කියා. ඇය මගේ යෝජනාවට කොහෙත්ම එකඟ වුණේ නෑ. අයියා ගෙන ගිය වැඩපිළිවෙළ ගෙන යන්න ඔයා තමයි සුදුසු ලතා ඇය කීවා. නුගේගොඩ ජීවත්වුණු මම දෙණියායේ ජනතාව ගැන එච්චර දුරට දන්නෙ නැහැ. දන්නෙත් ටික දෙනයි Ò යැයි අක්කාගේ පිළිතුර වුණා. මට මන්ත්‍රී ධුරයක් දැරීමට ප්‍රායෝගික දේශපාලන දැනුමක් තියෙනව කියලයි හුඟ දෙනෙක් කීවා. පුංචි කාලෙදිමයි මට දේශපාලන දැනුමක් ලැබුණේ දෙණියාය ආසනයේයි. තේරීපත් වුණු හැම එජාප මන්ත්‍රීවරුන්ගේ ජය පතා කැප වී ජීවිත පරිත්‍යාගයෙන් අපි උදව් උපකාර කළා. දෙණියාය එජාප පක්ෂ සංවිධානයේ මූලස්ථානය අපේ ගෙදර තාත්තා පඬිකාර මුහන්දිරම් අබේවික්‍රම එවකට මොරවක ආසනයට තරග කළ ආර්.සී. කන්නන්ගර මහත්තයාගේත් වික්ටර් රත්නායක මහතාගේත් ප්‍රධාන ආධාරකරුවෙක්.

අයියා චාලි කන්නන්ගර, සී.එල්. ජිනදාස යන මහත්වරුන්ගේ ප්‍රධාන ආධාරකරුවෙකු වුණු කීර්ති අබේවික්‍රම අයියා දෙණියාය ආසනයේ ප්‍රධාන එජාප සංවිධායක වශයෙන් පත් වුණේ 1973 මාර්තු 24 වැනි දිනයි. එදින සිට 1987 අගෝස්තු 22 (අයියාගේ අ‍වසන් කටයුතු සිදුකෙරුණු) දා තෙක් දෙණියාය ආසනයේ එජාප පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළා.

මා ඔහුගෙන් ප්‍රායෝගික දේශපාලන දැනුමක් ලැබුවා. කීර්ති අයියයි, මායි ගෙදර ඉන්නෙ. අයියාට මුහුණ පාන්න සිදුවුණු ගැටලු මටත් හැමවිටම කියනවා. හැම දෙයක් ගැනම සාකච්ඡා කරනවා ඔහුගෙන් මගේ දේශපාලන දැනුම මුවහත් වුණා. ඇය එකල පුවත් පතකට එසේ සඳහන් කර තිබුණි.

මම පහේ පන්තිය තෙක් ඉගෙන ගත්තේ මොරවක කනිෂ්ඨ විද්‍යාලයේ. පසුව සාමාන්‍ය පෙළ තෙක් මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ මම ‘කාන්තා හා ළමා අධ්‍යාපනය’ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්න කොළඹ ගියා. එහි මුල් භාගය හැදෑරුවා. ද්විතීයික භාගය හදාරන්න උත්තර භාරතයට යන්නයි හිටියේ. දෛවය ඒ ගමන වැළැක්වූවා. පැරණි කුල සිරිත් ඉහළින්ම පිළිගන්න කියලා තාත්තා නිතර දෙවේලේම කීවා’ මම ගෑනු දරුවන්ට උගන්වන්නෙ රස්සාවලට දාන්න නෙමෙයි. ඔළුව පාදන්න විතරයි ‘මේ අවදිය වන විට ගෙදරත් කවුරුත් නෑ ඔක්කොම අය පිට වෙලා ඉතින් මට ගෙදර ඇවිත් අම්මා, තාත්තාත් බලාගෙන වතුපිටි පාලනය අතට ගන්න සිද්ධ වුණා. මේ කාලය තුළ තාත්තා, නවයුගය, රසවාහිනී, ආදී සඟරාවලට ලියු ලිපි සහ එළු ශිලෝශතකය, ගංගා රෝහණ වර්ණනාව, කාලිංග බෝධි ජාතක කාව්‍යය ආදී පොත් අත් පිටපත් කරදීම කළේ මමයි’

දෙණියාය ආසනයේ මන්ත්‍රීවරිය ලෙස වසර කිහිපයක් කටයුතුවල නිරත වූ කීර්ති ලතා අබේවික්‍රම එකල පැවැති භීෂණකාරී වකවානුවේ ජීවිත තර්ජනයන්ට ද මුහුණ දුන්නාය. ඇය ගමන් ගත් වාහනයට කිහිප විටක් වෙඩි ප්‍රහාර එල්ල විය. 56 වැනි වියේ පසු වූ ඇය 1996.09.16 දින මෙලොවින් සමු ගත්තාය.

පැරණි පුවත්පත් ඇසුරින් නන්දික බැද්දේගම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here