Home Politics News Room : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලග්ගල කවිකාර කේ.ඇම්.කේ. බංඩා

News Room : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලග්ගල කවිකාර කේ.ඇම්.කේ. බංඩා

1
0

සහජ දක්ෂතාව මත ගොඩනැඟුණු බුද්ධිය විසින් උගත්කම අබිබවා ඉදිරියට යෑම කිසිවකුට වැළැක්විය නොහැකිය. එවැනි බුද්ධිමතුන් ඉතා විරලය. එවැනි චරිතයකින් හෙබි පුද්ගලයෙකි, කලක් ලග්ගල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් ජනතාවට විශාල සේවයක් සිදු කළ කෝනාර මුදියන්සේලාගේ කිරි බංඩා නොහොත් කේ.ඇම්.කේ. බංඩා මන්ත්‍රීවරයා. මොහු ජන්ම ලාභය ලැබුවේ 1938 මැයි මස 09 වැනිදාය. පසුව මෙතුමා ඉලුක්කුඹුර ගම්මානයේ සිය දරු පවුල සමඟ පදිංචි විය. මොහුගේ පවුලේ ද සොයුරු සොයුරියන් පස්දෙනෙක් සිටියහ. දැනට එයින් ජීවත්ව සිටින්නේ දෙදෙනකු පමණි.

මෙතුමා 1965 වසරේ පැවති මහමැතිවරණයේදී තරග කළත් එවකට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පී.ජී. මුතුබංඩා මහතාට පරාජය විය. එමෙන්ම මොවුන් දෙදෙනාම ඉතා සමීප ඥතීහු වූහ. කෙසේ වෙතත් නැවත මොහුට ලග්ගල ජයගැනීමට නොහැකි වූයෙන් කලක් ගතවීමෙන් පසු මෙතුමාට මුඛ රෝගයක් හටගෙන මහරගම පිළිකා රෝහලේදී 1976 අප්‍රේල් මස 22 වැනි දින මිය ගියේය.

මාතලේ දිස්ත්‍රික්කයට අයත් අතිදුෂ්කර ගම්මානයක් වන ලග්ගල, පිටවල ප්‍රදේශය මොහුගේ උපන් බිම විය. එදා ගොවිතැනින් ජීවිතය සරි කර ගත් පවුලක ජන්ම ලාභය ලැබූ මොහුට එවකට පැවැති විවිධ දුෂ්කරතා නිසා පාසල් ජීවිතය අහිමි වූයේ මුලදීමයි. එසේ පාසල් දිවිය අහිමිවුවත් මොහු අකුරු ඉගෙනීමට දැක්වූයේ නොතිත් ආසාවකි. මවුපියන් සමඟ ගොවිතැන් කටයුතුවල නිරත වූ මොහු කාලයාගේ ඇවෑමෙන් තරුණ වියට පත්විය. මේ අවධියේ ගොවිතැනින් ජීවිතය ගෙන ගිය මොහු දිනක් සිය නැතිවී සිටින ගවයකු සොයා වන රොදවල් සෝදිසි කරමින් පිටවල ප්‍රදේශයේ යන විට හදිසියේ ඇති වූ වර්ෂාවක් නිසා ගමන අතරමඟ නතර කර ඒ අසල තිබූ නිවෙසකට ගොඩවිය. මෙහි මඳ වේලාවක් රැඳී සිටි මොහුට ඒ නිවෙසෙහි සිටි හැඩවැඩ ඇති තරුණියක් ඇස ගැටුණි.

පසුව මේ තරුණිය කෙරෙහි සිත් ඇතිව ඇයගේ වැඩිහිටියන්ට මේ සම්බන්ධයෙන් විවාහ යෝජනාවක් කර ඔවුන්ගේ එකඟතාව මත මේ දෙදෙනා විවාහ දිවියට පත්වූහ. පසුව කේ.ඇම්.කේ. බංඩා මහතාට සහ කෝනාර මුදියන්සේලාගේ පිටවල වලව්වේ උක්කුඅම්මා දෙපළට දරුවන් පස්දෙනකු සිටියහ.

මේ විවාහයෙන් පසු කේ.ඇම්.කේ. බංඩා මහතාගේ හිත යොමු වූයේ ඉගෙනීමටයි. එම අවධියේ වැඩිහිටියන් වෙනුවෙන් ප්‍රදේශයේ රාත්‍රි පාසල් පවත්වාගෙන ගොස් ඇත. මෙහිදී මොහු දහවල් කාලයේ වැඩ නිමවා රාත්‍රියේ එම පාසලට යන්න විය.

ඉගෙනීමේ උපන් හපන්කම් දැක්වූ මේ වැඩිහිටි සිසුවා කෙටි කලකින් එවකට පැවති ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත් විය. අනතුරුව මොහු ප්‍රදේශයේ විවිධ සමිති සමාගම්වල නිලතල උසුලමින් සමාජ සේවකයෙක් ලෙස පොදු වැඩ කිරීමට යොමු විය. කාලයාගේ ඇවෑමෙන් මොහු ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයා ද විය. පසුව ලග්ගල, උඩසිය පත්තුවේ ගම් සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය. මේ කාලයේ මොහු ප්‍රදේශයේ පොදු වැඩවලට දායකවීම ද අත් නොහළේය.

මෙතුමා දේශපාලකයකු ද වූ බැවින් ජනතා මෙහෙවරෙහි වඩාත් නියැළෙන්නට විය. කවි කීමෙහි සහජ දක්ෂතාවක් තිබූ මොහු ප්‍රදේශයේ රැස්වීම් ආදිය ද ආරම්භ කළේ කවියෙනි. එබැවින් මොහු හිටිවන කවියකු ලෙස ද ප්‍රසිද්ධ විය. පාර්ලිමේන්තුවේදී ද බොහෝ අවස්ථාවල කවියෙන් සංවාද ඇති වූ අතර, මොහු ද මේ සංවාදවල කොටස්කරුවකු විය.

මේ අතරවාරයේදී ප්‍රදේශයේ වාරි කර්මාන්තය වැඩිදියුණු කිරීමට ද මෙතුමා මහත් වෙහෙසක් දැරීය. ඒ සඳහා දේශපාලකයන් සමඟ මෙන්ම නිලධාරීන් සමඟද නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගත්තේය. කෙසේ හෝ එහි අවසානය වූයේ මෙතුමාගේ අදහස් මුදුන්පත් කර ගනිමිනි.

මේ ප්‍රදේශය හරහා ගලා යන හීංගඟ ආශ්‍රිත සිටි අයට සිය ගොවිබිම් වෙනුවෙන් ජලය ගැනීමට මාර්ගයක් නොවූයෙන් මේ ගඟ හරහා බැම්මක් බැඳීම අත්‍යවශ්‍ය විය. ඒ කෙරෙහි එවකට පැවති රජය නොයෙක් වර දැනුම්වත් කළත් එයින් කිසිදු පලක් නොවූයෙන් හෙතෙම ප්‍රදේශවාසීන් ද එක්රැස්කර මේ බැම්ම බඳින තෙක් උපවාසයක් ඇරඹීය. පසුව මේ ප්‍රදේශයේ සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු විය.

එවකට අගමැතිවරයා වශයෙන් සිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසු ඩබ්ලිව්. දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් භාරකාර රජයක් ආරම්භ කළත් එය ද අසාර්ථක වූයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීය. පසුව වර්ෂ 1960 මාර්තු මස පැවති මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලග්ගල ආසනයට තරග කළ කේ.ඇම්.කේ. බංඩා එයින් ජය ගත්තේය. අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රජයක් ඇරඹුවත් එය ද විසුරුවා හැර එම වසරේදීම ජූලි මස පැවති මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නැවතත් ලග්ගල අසුනට ඉදිරිපත්වී මොහු එයින් ද ජය ගත්තේය.

එහෙත් මෙතුමා 1965 වසරේ පැවැති මහමැතිවරණයේදී තරග කළත් එවකට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පී.ජී. මුතුබංඩා මහතාට පරාජය විය. එමෙන්ම මොවුන් දෙදෙනාම ඉතා සමීප ඥතීහු වූහ. කෙසේ වෙතත් නැවත මොහුට ලග්ගල ජයගැනීමට නොහැකි වූයෙන් කලක් ගතවීමෙන් පසු මෙතුමාට මුඛ රෝගයක් හටගෙන මහරගම පිළිකා රෝහලේදී 1976 අප්‍රේල් මස 22 වැනි දින මිය ගියේය.

කේ.එම්.කේ. බංඩා මහතා මිය යෑමට පෙර සිය බිරියට කවියෙන් ලිපියක් ලියා තැබීය. ඒ ඔහුගේ අවසන් ලිපිය විය. එහි ගැබ්ව තිබුණේ මොහු සිය දරු පවුලට කොතරම් සෙ‍ෙනහසක් දැක්වූයේ ද යන්නයි.

(මේ ලිපිය සැකසීමට කේ.ඇම්.කේ. බංඩා

මහතාගේ දියණිය වන තමරා ඒකනායක මහත්මිය විසින් තොරතුරු ලබා දෙන ලදි.)

සටහන, ඡායාරූප

ඒ. ඒ. එල්. ඩයස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here