6
මෙරට සුදුසුකම් සම්පූර්ණ කළ සෑම වැඩිහිටියකුගේම ඡන්ද අයිතිය ස්ථාවරයය. ඒ අවිවාදිතය. එසේම, එය මූලික මානව හිමිකම් මඟින් තහවුරු කරන ලද්දකි. එහෙත් තවමත් ඇතැම් ජන කොටස් හෝ කණ්ඩායම් ආදියට ඒ අයිතිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී බාධා, අවහිරතා පවතියි. බන්ධනාගාර රැඳවූවන්ගේ ඡන්ද අයිතිවාසිකම් පිළිබඳත් ඒ අතින් අසන්නට ලැබේ. අපි දැන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ සේනක පෙරේරාගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසමු.
ඉකුත් දිනවල මේ ගැන අලුත් කතාබහක් පැවතුණා ?
ඔව්. ඒත්, අපි බොහෝ කලෙක පටන් මේ පිළිබඳ කතා කරන්නේ. 2019 වර්ෂයේදී සිරකරුවන්ගේ ඡන්ද අයිතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නැයි අපි හිටපු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අයිතිය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙනවා. එහි 13,89 (ඇ) ආදී වගන්තිවලින් ඉතා පැහැදිලිව ඒ අයිතියට අදාළ ප්‍රතිපාදන පිළිබඳ අවධාරණය කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති මඟිනුත් ඒ වග අවධාරණය කරනවා. කෙළින්ම බන්ධනාගාර රැඳවවූවන් විදිහට සඳහන් නොකළත් පොදුවේ මනුෂ්‍යයන් වශයෙන් බන්ධනාගාර රැඳවූවන්ටත් ඒ අයිතිය කිසිම වෙනසකින් තොරව ලැබෙනවා. ප්‍රජාවේ සෑම කටයුත්තක් සඳහාම සම්බන්ධ වීමේ අයිතිය එයින් කියැවෙනවා. එය, සිර දඬුවම් ලැබූවකුට වුණත් සීමා සහිතවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ මෙරටදී නම්, අවුරුදු 2කට වැඩි සිර දඬුවම් ලැබූවකුට ආදී වශයෙන්. ඉතින්, බන්ධනාගාර රැඳවූවන්ට හිමි ඡන්ද අයිතිය පිළිබඳ ඉතා පැහැදිලියි. එය ක්‍රියාත්මක කිරීමට නිසි ක්‍රමවේදයක් නොවීමයි තවමත් ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉකුත් අගෝස්තු 10 වැනිදා අන්තර්ජාතික වශයෙන් සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ දිනය යෙදුණත්, බොහෝ දෙනෙක් ඒ වගක් දන්නේත් නැහැ. එහෙම වාතාවරණයක් තමයි අපේ රටේ තවමත් තියෙන්නේ. ඉකුත්දා රැඳවූවන්ගේ පරිභෝජනයට දුන් සහල් පරිභෝජනයට නුසුදුසු වගක් මොනරාගල බන්ධනාගාරයෙන් වාර්තා වුණා. මේ දේවල් එහෙම වෙන්නේ 1ට 3ක් වශයෙන් පවතින ඉඩකඩට වඩා වැඩිපුර රැඳවූවන් මෙරට බන්ධනාගාරගතව සිටින වටපිටාවකදීයි. ඒවා කලෙක සිටම මෙරට පවතින බරපතළ ගැටලුයි. මේ සඳහා පිළියම් සපයන අපේක්ෂකයකු තෝරා ගෙන එහෙම කෙනකුට බලය දෙන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉතින්, ඉකුත්දා මැතිවරණ කොමිෂන් සභාව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, මානව හිමිකම් කොමසාරිස් ආදීන් එකට එකම සාකච්ඡාවකදී මේ කරුණ පිළිබඳ කතාබහ කළා. එහිදී විශේෂයෙන් ලිපියකට පමණක් සීමා නොවී, ප්‍රායෝගිකව මැතිවරණ කොමිෂන් සභාව මඟින් බන්ධනාගාර රැඳවූවන්ට ඡන්ද අයිතිය දීමට කටයුතු කෙරෙන ආකාරය පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරුණා. ඒ පිළිබඳ අපි නඩු පැවරීමටත් කටයුතු කර තිබෙනවා. එහි ඊළඟ නඩු වාරය එළැඹෙන මාර්තුවේදී කැඳවීමටයි නියමිතව තියෙන්නේ. අනෙක, අපේ සමාජයේ ආකල්ප මෙතැනදී බෙහෙවින් බලපානවා. තවමත් එහි එතරම් වෙනසක් වී නැහැ. වරදකරුවකු කියන හංවඩුව තවමත් සමාජයේ හිරෙන් නිදහස් වී පැමිණි අය පිළිබඳ තියෙනවා. පසුගාමී ආකල්ප නිසයි ඒක එහෙම වෙලා තියෙන්නේ. සංවර්ධිත විදෙස් රටවල එහෙම නැහැ. අවුරුදු 40කට සිර දඬුවම් නියම වූ තැනැත්තන්ට පවා මැලේසියාවේ ඡන්ද අයිතිය ලැබෙනවා.
කෙතරම් රැඳවූවන් පිරිසකට ඒ අයිතිය අහිමි ද?
අඩුම තරමින් 32000ක් පමණ වෙනවා. ඒ අතුරෙන් 20,000ක් පමණ රිමාන්ඩ් භාරයේ සිටින්නේ. ඒ ගණන සුළු වශයෙන් අඩු වැඩි වුණත් දහස් ගණනක් වන බව පැහැදිලියි. ඉතින්, මැතිවරණයකින් පසුව, එය සාධාරණ මැතිවරණයක් පැවැති බවට ප්‍රකාශ කෙරුණත් එය එසේමදැයි ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. බන්ධනාගාර රැඳවූවන් එහි ප්‍රධාන කොටසක්. ඒත් ඒ පිරිස ගැන වැඩි කතාබහක් සමාජයේ නැහැ. විදෙස් ශ්‍රමිකයන් ගැන තරම්වත් ඒ පිළිබඳ අවධානය යොමු වී ඇති වගක් පෙනෙන්නට නෑ. ඡන්ද අයිතිය, පාලන බලය, මූලික මානව අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කළ අයිතිවාසිකම්. අන්තර්ජාතික වශයෙන් ගත් විටත් එය එසේමයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් යටතේ ඒ ගැන සඳහන් වෙනවා.
සිරකරුවන් පුනරුත්ථාපනයත් එසේමයි. ඒ කෙරෙහිත් රට රටවල රජයන් අන්තර්ජාතික වශයෙන් බැඳී සිටිනවා. අනෙක ඡන්දය සිරකරුවාගේ හඬ. එයින් තමයි රැඳවූවා බන්ධනාගාරය තුළදී අත්විඳින තත්ත්වය හා ඔහුගේ අභිලාෂ කියාපාන්නේ. ආහාරපාන, සිරමැදිරි ආදිය සපයා දීමෙන් පුනරුත්ථාපනයක් වෙන්නේ නැහැ. ඊට විධිමත්, සමාජ විද්‍යාත්මක වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ. බන්ධනාගාරගත වන තැනැත්තන්ගෙන් 50%ක් පමණ නැවත ඒ තුළට යෑමෙන් කියාපාන්නේ මෙරට පුනරුත්ථාපන ක්‍රමවේදය එතරම් සාර්ථක නොවන වගයි. සිරකරුවාට හඬක්, පුනරුත්ථාපනයට ඉඩක්’ වශයෙන් බන්ධනාගාරය තුළදීම එය අර්ථ ගැන්වුණත් තවමත් යථාර්ථයක් වී නැති බව තමයි දක්නට තියෙන්නේ. අඩුම තරමේ දේශපාලන මත ආදිය එක්කොට, පොතක් පළ කිරීමට වත් ඉඩක් රැඳවූවන්ට දී නැති බව තමයි ඒ වෙනුවෙන් රැඳවූවන් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් ඒ සඳහා කළ ඉල්ලීම්වලට ලැබුණු ප්‍රතිචාර අනුව පෙනෙන්නට තියෙන්නේ. ඒත් දියුණු රටවල තත්ත්වය එහෙම නෙවෙයි. බන්ධනාගාරගතව සිටියදී මෙන්ම, එයින් නිදහස්ව, සමාජයට ගිය පසුවත් ඒ රටවල පසු විපරම් කරනවා. ඒත් තවම අපේ රට ඒ තැනට දියුණු වී නැහැ. ඒ කෙසේ වෙතත්, ඡන්ද අයිතිය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී සුළු බාධක, අවහිරතා ගණනාවක් නිසා අනිවාර්යයෙන්ම රැඳවූවන්ට හිමි විය යුතු ඡන්ද අයිතිය අහිමි වෙනවා නම් එය වඩාත් ගැටලුකාරියි.
මොනවාද ඒ ?
රජයේ වෙනත් නිලධාරින්ට බන්ධනාගාරය තුළට ඇතුළු වීම සීමා කිරීම් ආදී සුළු කාරණා තමයි බන්ධනාගාරය වෙනුවෙන් කරුණු දක්වන නිලධාරින් ඉදිරිපත් කරන්නේ. ඉතින්, ඒවා රැඳවූවන්ට ඇති ඡන්ද අයිතිය අහිමි කරන්නට තරම් වන කරුණු නොවෙයි. ඒත්, බන්ධනාගාර තුළදී නීති විරෝධී මෙන්ම මානව හිමිකම් කඩ කෙරෙන අයුරින් කටයුතු වෙනවා. නිදසුනක් කියනවා නම්, බරපතළ චෝදනා එල්ල වූ, බූස්ස බන්ධනාගාරයේ රඳවා ඇති එක් සැකකරුවකු ගැන කියනවා නම්, ඒ තැනැත්තාගේ සුවදුක් බැලීමට ඥාතින්ට ඉඩ සලසා තියෙන්නේ සතියකට දින දෙකක් පමණයි. ඔහු රඳවා තිබෙන සිර මැදිරියට පිටතින් විශේෂ කාර්ය බළකාය යොදවා තියෙනවා. මේ ආදී වශයෙන් රැඳවූවන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරන විට එය කඩ වන තැනට බන්ධනාගාර නිලධාරින් පෙන්වා දෙන, කරුණු, ඒ තුළදීම විවිධ බලපෑම් ආදිය හමුවේ වෙනස් අයුරින් ක්‍රියාත්මක වනු දක්නට පුළුවන්. ඉහළ රාජ්‍ය නිලධාරින්ට ඒ වග පෙන්වා දීමෙන් පසුව වත් මේ අත්තනෝමතික හැසිරීම්, ක්‍රියා කලාපයන් දිගටම පැවතීම කනගාටුවට කරුණක්. ඉහළ නිලධාරින් විධාන කළත්, අනීතික අණක් පිළි නොපැද සිටීමට ඇති හැකියාව පිළිබඳ නීතියේ පූර්වාදර්ශ ඇතත්, ඇතැම් ඉහළ නිලධාරින් ඒවා ගණනකට නොගැනීම පිළිබඳ වෙනම සාකච්ඡා කළ යුතුව තියෙනවා. මේවා වෙනස් විය යුතු බවයි උගත්, බුද්ධිමත් ජනතාව අපේක්ෂා කරන්නේ. ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු ඡන්ද විමසීම්වලදී ජනතා නියෝජිතයන් තෝරා ගැනීමේදී අවශ්‍ය වන්නේ මේ කෙරෙහිත් සංවේදී තැනැත්තන් බවයි අපි අවධාරණය කරන්නේ.
නුවන් මහේෂ් ජයවික්‍රම