18
අන්තර්වාර රජයක් පත් කිරීමෙන් මාසයක් ගත වීමටත් පෙර බංග්ලාදේශයේ මහජන විරෝධතා සහ වැඩ වර්ජන නැවත හිස ඔසවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වන විට බංග්ලාදේශයේ අර්බුද රැසක් උද්ගත වී ඇති අතර, ශෙයික් හසීනාගේ අවාමි ලීග් රජය බිඳ දමා බලය අත්කරගත් එරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළු කණ්ඩායම් ප්‍රංශයේ සිටි නොබෙල් සාම ත්‍යාගලාභී මහාචාර්ය මොහොමඩ් යූනුස් යළි සියරට ගෙන්වා ඔහුගේ ප්‍රධානත්වයෙන් පත් කළ අන්තර්වාර රජය රට යථා තත්ත්වයට පත් කිරීමේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බංග්ලාදේශයේ විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පසුගිය දින තුනක කාලය තුළ ඩකා අගනුවරින් පිට ග්‍රාමීය පළාත්වල ජනතාවට දිනකට පැය 8ක සිට පැය 10 කාලයක් විදුලි කප්පාදුවකට මුහුණ දීමට සිදුවී ඇති අතර, සඳුදා දිනයේදි පමණක් මෙගාවොට් 2,000ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිවී ඇතැයි වාර්තා වේ.
එරට විදුලිබල සංවර්ධන මණ්ඩලයේ මූලාශ්‍රවලට අනුව ගෑස් සැපයුම අඩාළ වී ඇත්තේ ස්වභාවික ගෑස් පර්යන්තය මාස තුනක් පුරා වසා දැමීම හේතුවෙන් බවත්, ගෑස් පදනම් කරගත් විදුලිබල උත්පාදනය මෙගාවොට් 1000කින් පහළ වැටී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් නොගෙවීම මත අදානි සමාගමේ විදුලිබලාගාරයෙන් සපයනු ලබන විදුලිය මෙගාවොට් 500කින් පහත දැමීමෙන් තත්ත්වය තවත් බරපතළ වී ඇති අතර, ඩීසල් විදුලිබලාගාර පවත්වාගෙන යන එරට පෞද්ගලික අංශයට ද රජයෙන් විශාල හිඟ මුදලක් ගෙවීමට ඇති බැවින් රටේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීමට රජයට සහාය වීමට පෞද්ගලික අංශය ද පසුබට වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
බංග්ලාදේශයේ අන්තර්වාර රජයට සිය අවශ්‍යතා සඳහා දිනකට ගෑස් ඝණ අඩි බිලියන 3.80ක් අවශ්‍ය වූවද, ඝණ අඩි බිලියන 3කින් තත්ත්වය පාලනය කිරීමට රජයට සිදුවී ඇතැයි ද, පසුගිය මැයි මාසයේ සිට එරට විශාලතම ගෑස් පර්යන්තය වසා දැමීමෙන් බංග්ලාදේශයේ දිනකට ඝණ අඩි මිලියන 600ක ගෑස් අහිමි වෙමින් පවතින බව ද වාර්තා වේ.