Home Uncategorized News Room : හොර පාරෙන් එන සුපිරි ෆෝන්වලින් රජයට බිලියන 1.5ක පාඩුවක්

News Room : හොර පාරෙන් එන සුපිරි ෆෝන්වලින් රජයට බිලියන 1.5ක පාඩුවක්

1
0

ආනයන සීමා හේතුවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව රජයට විදුලි සංදේශ උපකරණ ආනයනයෙන් ලැබෙන බදු මුදල් සංඛ්‍යාව සීමා වී ඇති නමුත් නීති විරෝධී ආකාරයෙන් තවමත් ජංගම දුරකතන ආදිය රට තුළට ගෙන එන බවට විදුලි සංදේශ උපකරණ ආනයනකරුවෝ චෝදනා කරති.

මෙසේ හොර පාරෙන් ගෙන එන ජංගම දුරකතන නිසා රජයට විශාල බදු මුදලක් අහිමිවන බව ඔවුහු පවසති.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය රහිතව මෙසේ රට තුළට ගෙන්වා ඇති භාණ්ඩ අතර අලුතින් හඳුන්වා දෙන නවීන ජංගම දුරකතන වර්ග බොහොමයක් ද පවතින බව ආනයනකරුවෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

පසුගිය මාස තුන ඇතුළත දිවයිනේ ජංගම දුරකතන ආනයන කරන ප්‍රධානතම සමාගම් හතරක් නියමිත බදු ගෙවමින් මෙරටට ආනයන කර තිබුණේ 800ක් වැනි ඉතාම සීමිත ජංගම දුරකතන සංඛ්‍යාවකි.

මහ බැංකු දත්තවලට අනුව 2020දී විදුලි සංදේශ උපකරණ ආනයනය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 386.4ක් වැය වී ඇති නමුත් මේ වසරේ මුල් මාස හතර සඳහා වැයවී ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 137කි.

එහෙත් සුප්‍රකට සන්නාම සහිත ජංගම දුරකතන 17,000ක් වැනි විශාල සංඛ්‍යාවක් ඒ අතරේ ම කිසිදු බදු මුදලක් නොගෙවමින් පසුගිය මාස 3ක කාලය තුළ මෙරටට ආනයනය කර භාවිත කිරීම ආරම්භ කර ඇත.

එසේ ආනයනය කෙරෙන සුපිරි සන්නාමයකින් යුත් එක් දුරකතනයක ආසන්න මිල රුපියල් ලක්ෂ 4ක් යැයි සැලකුවහොත් එක් දුරකතනයකින් රුපියල් 30,000කට ආසන්න බදු මුදලක් රජයට අහිමි වේ.

ඒ දුරකතනයක් ගෙන්වන විට දළ වශයෙන් රජයට 7.5%කට ආසන්න බදු ලෙස ලැබෙන බදු ආදායම සලකා බැලීමේදී ය.

ඒ අනුව, පෙර කී දුරකතන සන්නාමයෙන් පමණක් මාස 3ක කාලයක් සඳහා අහිමි වී ඇති බදු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන පන්සිය දහයක් (510,000,000) පමණ වේ.

මෙලෙස ප්‍රධාන දුරකථන සන්නාම 3ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් රුපියල් බිලියන එකයි මිලියන පන්සිය තිහකට (1,530,000,000) පමණ ආසන්න මුදලක් රජයට අහිමි වන බව අනාවරණය කර ගැනීමට හැකි විය.

එසේ ම, ජංගම දුරකතන ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් සොයා ගැනීමේ සිට තවත් ප්‍රායෝගික ගැටලු රාශියකට ජංගම දුරකතන ආනයනය කරන්නන් මුහුණ දී තිබීම හේතුවෙන් නීත්‍යනුකූල මාර්ග හරහා ජංගම දුරකතන ආනයනය අඩාල වුවත් ජාවාරම්කරුවන් විසින් අධික මිල ගණන්වල ජංගම දුරකතන බොහෝමයක් නීති විරෝධී ක්‍රම හරහා බදු වංචා කරමින් රට තුළට ගෙන්වන බවත් දුරකතන අලෙවි සල් හිමියෝ පැවසූහ.

එසේ ම, මෙලෙස රජයට ලැබිය යුතු බදු මුදල් වංචා කරමින් ගෙන්වන ජංගම දුරකතන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොවන නිසා කිසිදු නියාමනයක් නොමැතිව භාවිත කිරීමේ හැකියාව පවතියි. එය රටේ ජාතික ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවත් තාක්ෂණික විශ්ලේෂකයන් සඳහන් කර ඇත. රට පුරා පැතිර ඇති මෙම නීති විරෝධී දුරකතන ජාවාරම ඔස්සේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික අධිකාරිය මැදිහත් වන බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘ඉරිදා මව්බිම’ ට පැවසීය. එවැනි අවස්ථා ගැන 1977 ක්ෂණික දුරකතන අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කරන්නැයි ද ඔහු ඉල්ලා සිටියේ ය.

මෙවැනි දුරකතන භාවිත කිරීමෙන් පාරිභෝගිකයන්ට ද නිකරුණේ ගැටලු මතුවිය හැකි යැයි ද ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන්නැයි සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) හෙලසිරි රණතුංග පැවසීය.

මෙවැනි නීති විරෝධී දුරකථන සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා රේගුව බව ත් රට තුළට එවැනි දුරකතන ගෙන්වීම වැළැක්විය යුත්තේ ඔවුන් බවත් හෙතෙම පැවසීය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්‍ෂවරයෙක් කියා සිටියේ නීති විරෝධීව කිසිදු ජංගම දුරකතනයක් රට තුළට ගෙන යාමට තමන් අවස්ථාවක් නොදෙන බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here