Home Local News Room : “ඊශ්‍රායල් යුද්ධ ගැටුමෙන් අපේ ආර්ථිකයට අනතුරු දෙකක්” – ආර්ථික...

News Room : “ඊශ්‍රායල් යුද්ධ ගැටුමෙන් අපේ ආර්ථිකයට අනතුරු දෙකක්” – ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ

2
0

ඊශ්‍රායල් – පලස්තීන යුද්ධය හේතුවෙන් ලබන වසරේ පෙබරවාරි මාසය වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් සියය දක්වා ඉහළ යා හැකි බවත් මේ හේතුවෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින ශ්‍රී ලංකා ආර්ථිකය යළි කඩා වැටීමට හෝ එකතැන නැවතීමක් සිදු විය හැකි බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ ඉරිදා ‘මවිබ්ම’ට පැවසීය.

මේ වන විටත් යුද්ධය හේතුවෙන් තෙල් බැරලයක මිල ඩොලර් පහකින් පමණ ඉහළ ගොස් ඇති අතර තෙල් බැරලයක් මේ මොහොතේ ඩොලර් 100ක් බැවින් ඉදිරි මාස කිහිපය තුළ එය තවදුරටත් ඉහළ යාමේ අවස්ථාව පවතින්නේ යැයි මහාචාර්යවරයා කීය.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මෙරට උද්ධමන තත්ත්වය යළිත් ඉහළ යාමක් සිදුවිය හැකි බැවින් කොව්ඩ්–19 වසංගතය සහ ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් බැට කෑ ජනතාවට මේ නිසා තවදුරටත් පීඩා විඳීමට සිදු වනු ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

ඊශ්‍රායලයේ රැකියාවේ නිරත වන 20,000ක් පමණ දෙනා යුද්ධය හේතුවෙන් යළි මෙරටට පැමිණීමේ තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඔවුන්ගේ විදේශ ප්‍රේෂණ අහිමි වීම සහ එම පුද්ගලයන් විරැකියාවට පත්වීමත් විශාල ගැටලුවක් බවට පත්වනු ඇතැයි ඔහු කීය.

ඊශ්‍රායලය පමණක් නොව මැදපෙරදිග කලාපයේ රැකියාවේ නිරත වන ශ්‍රී ලාංකිකයන් ද යුද්ධයේ බලපෑමට යටත් වී ඇති බවත් අලුතෙන් මැදපෙරදිග වෙත රැකියා සඳහා පිටත් වන ප්‍රමාණයේ අඩු වීමක් ද බලාපොරොත්තු විය හැකි අතර මේ හේතුවෙන් විදෙස් ප්‍රේෂණ හිමිවීම අඩාල වනු ඇතැයි මහාචාර්යවරයා පැවසීය.

යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන සඳහා ඉල්ලුම අඩු විය හැකි බැවින් ඉදිරියේදී අපනයන ආදායම අඩුවිය හැකි බව කීය.

මෙම යුද්ධ තත්ත්වය හේතුවෙන් මුස්ලිම් ලෝකය සහ වෙනත් රටවල් අතර පැරණි කුරුස යුද්ධය සක්‍රිය වුවහොත් එය ලොව තුළ සංචාරක කර්මාන්තයටත් බලපෑමක් කරනු ඇතැයි මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

මෙය සමස්ත ලොවට ම බලපාන අර්බුදයක් බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ අඩු වීමක් ද බලාපොරොත්තු විය හැකි බව කීය.

ඊශ්‍රායල් – පලස්තීන යුද්ධයට මේ වනවිට බටහිර රටවල ආධාර ඊශ්‍රායලයට ලැබෙමින් පවතින බවත් ඉදිරියේදී මෙම ප්‍රවණතාව සමග යුක්රේන – රුසියා යුද්ධය අවසන් වුවහොත් ලෝක ආර්ථිකයේ ඇතිවිය හැකි වෙනස්කම් මත මෙරටට යම් සහනයක් බලාපොරොත්තු විය හැකි බව මහාචාර්යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here