දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන පේළි පෙරහැරේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම අර්බුදයට මුල් වී ඇත්තේ, විවිධ තර්ජන මධ්‍යයේ වුවද 6 වන පේළි පෙරහැර හෙවත් කාවාඩි පෙරහැර සඳහා සියලු කාවාඩි කණ්ඩායම්වලට අවස්ථාව ලබා දීමට අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ එකඟතාව පළ කිරීමයි.
මීට විරෝධය දක්වමින් සංවිධාන කමිටුවේ සාමාජිකයින් 38 දෙනෙකු පෙරහැර කටයුතුවලින් ඉවත් වී තිබේ.
පසුව ග්‍රාම නිලධාරීන් සහ පොලිසිය එක්ව පෙරහැර සංවිධානය කිරීමට උත්සාහ කළ ද, එහි විධිමත්භාවය පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයක් මතු වූ බව වාර්තා වේ.
විශේෂත්වය වන්නේ, පසුගිය 23 වනදා සිට පැවති පෙරහැර සඳහා අලි ඇතුන් සහභාගී වුවද, පෙරේදා රාත්‍රියේ පැවති පස්වන පේළි පෙරහැර සඳහා කිසිදු අලියෙකු සහභාගී කර නොතිබීමයි.
මේ පිළිබඳව පොලිසියෙන් කළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කළේ, ඇත්ගොව්වන් කිහිප දෙනෙකු බීමත්ව සිටීම සහ කාවාඩි කරුවන් විසින් මල් වෙඩි දැල්වීම හේතුවෙන් අලි ඇතුන් කුලප්පු වීමේ අවදානමක් පැවති බැවින් මෙම තීරණය ගත් බවයි.
එසේම, පෙරහැරේ ගමන් කරන අලි ඇතුන් ඉලක්ක කර අහස්කූරු දල්වා ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සූදානම් වන බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ද ආරක්ෂක පියවරක් ලෙස අලි ඇතුන් සහභාගී කර නොගත් බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එවැනි කිසිදු අහිතකර තත්ත්වයක් පෙරහැර අතරතුර වාර්තා නොවූ අතර, අලි ඇතුන් සහභාගී නොවීම නිසා සිදුවීමට ඉඩ තිබූ අනාරක්ෂිත තත්ත්වයන් මඟහැරී ගිය බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.