“ඇමරිකාවට එක්කෝ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ හැකිය, නැතහොත් නැවත ගුවන් ප්‍රහාර ආරම්භ කළ හැකිය” යන මූලධර්මය ට්‍රම්ප් විසින් නැවත නැවතත් අවධාරණය කරනු ලැබුවද, යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඔහුගේ ජනප්‍රියත්ව අනුපාතය ඉතිහාසයේ අවම මට්ටමකට ඇද වැටී තිබේ. ඉදිරි දින 100 ඇතුළත පැවැත්වීමට නියමිත ඇමරිකානු මධ්‍යවාර මැතිවරණය හමුවේ මෙම තත්ත්වය රිපබ්ලිකන් පක්ෂය තුළ බරපතළ අනතුරු ඇඟවීමක් දල්වා ඇත.
ඉරානය යළිත් සටන් සාකච්ඡාවක් ඉල්ලුවා – ට්‍රම්ප්
මිචිගන් බලා පියාසර කරමින් තිබූ එයාර් ෆෝස් වන (Air Force One) නිල ජනාධිපති ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් ඇමතූ ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “ඉරානයට අපව හමුවීමට අවශ්‍ය වුණා, ඒ නිසා අපි සාකච්ඡා පවත්වනවා. යම් එකඟතාවකට පැමිණීමේ හැකියාවක් තිබෙනවා. යහපත් යමක් සිදුවිය හැකියි” යනුවෙනි. මැදිහත්කරුවන් මාර්ගයෙන් මෙන්ම සෘජුවද ඉරානය විසින් සාකච්ඡා සඳහා ඉල්ලීම් කර ඇති බවත්, ඒ අනුව සාර්ථක ප්‍රතිඵලයක් ලැබීමට වැඩි ඉඩක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අනතුරුව මිචිගන්හි පැවැති ජන රැලියකදී අදහස් දැක්වූ ට්‍රම්ප්, “මේ වන විට ඉතා සුහදශීලී මට්ටමේ සාකච්ඡා වට කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා” යැයි කියා සිටියේය. සාකච්ඡා මේ අයුරින් නැවත ආරම්භ කිරීම පිළිබඳව යම් සුබවාදී ආකල්පයක් මතු කරන අතරම, ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්ද නිකුත් කළේය. ඒ, යම් හෙයකින් මෙම සාකච්ඡා බිඳ වැටුණහොත් “පසුගිය දින කිහිපයට පෙර අප කරමින් සිටි දේ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත” යනුවෙනි. එමඟින් ඉරානයට එරෙහිව නැවතත් ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ සූදානම ඔහු තහවුරු කළේය. වෙනත් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ “අවශ්‍ය වුවහොත් අප ඉතා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග වෙත ක්ෂණිකව අවතීර්ණ වනවා” යනුවෙනි.
කෙසේ වෙතත්, පවතින අර්බුදය විසඳීම සඳහා කිසිදු ආකාරයක පෙරළිකාරී හෝ ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් සමත්ව නැත. ඔහු නිරන්තරයෙන් පුනරුච්චාරණය කරන්නේ “අප සටන් විරාමයක් අපේක්ෂා කරන නමුත්, තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත් අප නැවත ප්‍රහාර එල්ල කරනවා” යන පැරණි ස්ථාවරය පමණි.
ඇමරිකාව සමග කිසිම සාකච්ඡාවක් නෑ – ඉරානය
මේ අතර, ඇමරිකාව සමඟ කිසිදු රහස්‍ය හෝ පසුපස දොරටුවෙන් කෙරෙන සාකච්ඡාවකට තමන් සම්බන්ධ වී නැති බව පවසමින් ඉරානය, ට්‍රම්ප්ගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ.
ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි (Esmail Baghaei) මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, “අප දැනට සාකච්ඡා කරමින් සිටින්නේ ඕමානය සමඟ පමණයි. ඒ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමන පද්ධතිය සම්බන්ධයෙන් පමණයි. ඇමරිකාව සමඟ කිසිදු ආකාරයක සාකච්ඡාවක් අප පවත්වන්නේ නැහැ” යනුවෙනි. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සීමාවන් බෙදාහදා ගන්නා ඕමානය සමඟ පවතින සාකච්ඡා පිළිගත්තද, ට්‍රම්ප් සඳහන් කරන ආකාරයේ කිසිදු සෘජු හෝ වක්‍ර සම්බන්ධතාවක් තමන්ට ඇමරිකාව සමඟ නොමැති බව ඉරානය තරයේ කියා සිටියි.
ගුවන් ප්‍රහාර තාවකාලිකව නැවතී ඇති පසුබිමක පවා දෙපාර්ශ්වය අතර නොසන්සුන්තාව වර්ධනය වෙමින් පවතින අතර, ට්‍රම්ප් ගන්නා ඕනෑම තීරණයක් ඇමරිකාවට “ජයග්‍රහණයක්” ගෙන දීමට සමත් නොවනු ඇතැයි යන අශුභවාදී ආකල්පය මේ වන විට ජාත්‍යන්තරය පුරා දැඩි වෙමින් පවතී.
ලෝක මට්ටමේ විශ්ලේෂණ
මේ සම්බන්ධයෙන් සී.එන්.එන්. (CNN) පුවත් සේවය විශේෂ විශ්ලේෂණයක් සිදු කරමින් පෙන්වා දෙන්නේ, “ඉරාන අර්බුදයේ සෑම සන්ධිස්ථානයකදීම ට්‍රම්ප් සතු විකල්ප එන්න එන්නම නරක අතට හැරෙමින් පවතිනවා. මෙය කිසිවෙකුටත් ජයග්‍රහණය කළ නොහැකි ‘No-win’ තත්ත්වයක් කරා ගමන් කරන බවක් පෙනෙන්නට තිබෙනවා” යනුවෙනි.
මෙම විශ්ලේෂණයට අනුව ට්‍රම්ප් කුමන තීරණයක් ගත්තද, ඇමරිකාවට විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. යම් හෙයකින් ඇමරිකාව නැවත ගුවන් ප්‍රහාර ආරම්භ කළහොත්, හෝර්මුස් සමුද්‍ර සන්ධියට සහ මැදපෙරදිග පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරමින් ඉරානය ඊට දරුණු ලෙස ප්‍රතිප්‍රහාර දෙනු ඇත. මෙම යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඇමරිකානු සේවකයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත්, යුද වියදම් ලෙස ඩොලර් බිලියන 37.5ක් වැය වී තිබීමත්, නැවත ප්‍රහාර දියත් කිරීමේ තීරණයට ඇමරිකාවට දැඩි බාධාවක් සහ බරක් වී තිබේ.
ට්‍රම්ප් සම්පූර්ණයෙන්ම සාකච්ඡාමය විසඳුමකට යොමු වුවද, ඉන් මතු වන දේශපාලන බර ඉතා ඉහළය. පවතින ගැටුම නිමා කිරීමට නම් හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට සහ මෙහි ප්‍රධානතම ගැටලුව වන ඉරානයේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පිළිබඳව එකඟතාවකට පැමිණීමට සිදුවේ. ඉරානය සතුව න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වීම වැළැක්වීමේ අරමුණ පෙරදැරි කරගෙන ට්‍රම්ප් මෙම යුද්ධය ආරම්භ කළ බැවින්, සාකච්ඡාවල ප්‍රතිඵල අපේක්ෂිත මට්ටමට වඩා අඩු වුවහොත් ඔහුගේ ප්‍රධාන පෙළේ දේශපාලන ආධාරකරුවන්ගෙන් දැඩි විවේචන එල්ල වනු ඇත. “අවසාන ප්‍රතිඵලය මේක නම් ඇයි අපි ඉරානයට ප්‍රහාර එල්ල කළේ?” යනුවෙන් ඔවුන් ප්‍රශ්න කිරීමට ඉඩ තිබේ.
මෙම උභතෝකෝටිකය මැද, කුවේටය, සෞදි අරාබිය සහ ජෝර්දානය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කරන සංකේන්ද්‍රිත ප්‍රහාර මෙන්ම, බබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධිය වටලමින් හූති සටන්කාමීන් දියත් කරන මෙහෙයුම් හේතුවෙන් ට්‍රම්ප් මත පැටවෙන පීඩනය තවදුරටත් තීව්‍ර වී ඇත.
මේ අතර, එදිනම ප්‍රකාශයට පත් කරන ලද රොයිටර්-ඉප්සෝස් (Reuters-Ipsos) නවතම ජනමත සමීක්ෂණයකට අනුව, ඉරාන යුද්ධය සඳහා ඇමරිකානු ජනතාව දක්වන සහයෝගය 33%ක් දක්වා පහත වැටී ඇති අතර, එය යුද්ධය ආරම්භ වූ දා සිට වාර්තා වූ අවම අගය ය. සමීක්ෂණයට දායක වූවන්ගෙන් 69%ක්ම ප්‍රකාශ කර ඇත්තේ යුද මෙහෙයුම්වල නියම අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීමට ට්‍රම්ප් අපොහොසත් වී ඇති බවය. ජනතාව තුළ පවතින මෙම දැඩි යුද විඩාව නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යවාර මැතිවරණයට පෙර රිපබ්ලිකන් පක්ෂය තුළ විශාල අර්බුදයක් නිර්මාණය කළ හැකි අතර, එමඟින් පක්ෂය මත පවතින ට්‍රම්ප්ගේ ග්‍රහණය ලිහිල් වීමේ අවදානමක්ද පවතී.
යුක්රේනය ඉරානය යුද්ධයට එක් වීම –
මෙම අවුල් සහගත වටපිටාව තුළ, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා මාලාව හරහා ට්‍රම්ප් යම් දේශපාලන සහ යුදමය හැරවුම් ලක්ෂ්‍යයක් සොයා ගනු ඇත්ද යන්න කෙරෙහි මේ වන විට ලෝක අවධානය යොමුව තිබේ.
මීට පෙර එකිනෙකට වෙනස්ව වෙන් වෙන්ව පැවති රුසියා-යුක්රේන යුද්ධය සහ ඇමරිකානු-ඉරාන යුද්ධය මේ වන විට එකිනෙක බද්ධ වීමේ පැහැදිලි සලකුණු මතු වෙමින් පවතී. පසුගිය 25 වැනිදා යුක්රේන හමුදාව විසින් කැස්පියන් මුහුදේ ගමන් කරමින් තිබූ, ඉරානයේ සිට රුසියාව බලා ගමන් කළ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කරන ලදී.
මෙහිදී තම නැව් කාර්ය මණ්ඩලයේ අයෙකු මියගිය බව පවසමින් ඉරාන රජය මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙළා දුටුවේය. ඊට ප්‍රතිචාර දක්වමින් සෙලෙන්ස්කි කියා සිටියේ, “ඉරානය, උතුරු කොරියාව සමඟ එකතු වී දැනටමත් අපට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා” යනුවෙනි. රුසියාව විසින් යුක්රේනයට බෝම්බ හෙලීම සඳහා ඉරානයේ නිෂ්පාදිත ෂහීඩ් (Shahed) ඩ්‍රෝන යානා බහුලව භාවිතා කරන බව අවධාරණය කරමින්, තම ප්‍රහාරයේ නීත්‍යානුකූලභාවය සහ සාධාරණත්වය ජාත්‍යන්තරය හමුවේ තහවුරු කිරීමට සෙලෙන්ස්කි මෙහිදී උත්සාහ කර ඇති බව පැහැදිලි වේ.
ගල්ෆ් යුද්ධය කැස්පියන් මුහුද තෙක් පැතිරී ඇත. ට්‍රම්ප් ඇවිලූ ගින්න ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් ගිනි පුපුරු නන්වමින් තිබේ. ඒ යුද්ධය තුළම ඔහු නිරුත්තරවන බවක් පෙනේ. මේ මහා සංකීර්ණය අවසානයේ අපේ රටේ අසරණ මිනිසුන්ගේ බත් පතෙන් වන්දි ගෙවන තැනට සංකීර්ණ වී තිබේ. මේ ගැටුම ගැන අප මේ තරම් උනන්දු වන්නේ එබැවිනි.