අලුත් වෙළඳපොලක් හැදිලා තියෙනවා. ඒ වෙළඳපොල උපරිම පාවිච්චි කරන්න ජනාධිපතිතුමාට මං කියන්නේ යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ කොලඹදී පැවති ජන හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා ,
වර්තමානයේ රටේ අභියෝග ගණනාවකට මේ රටේ ජනතාව මුහුණ දෙනවා. එක පැත්තකින් වර්තමාන ජේ.වී.පී. ආණ්ඩුව බලයට එන්න අසීමිත බොරු කිව්වා. අසීමිත බොරු කියලා රටේ ජනතාව රවට්ටලා බලයට ආවා. රවට්ටපු බව වටහා ගන්න හැකියාව ලැබුණේ බලයට ඇවිල්ලා තමන් දීපු පොරොන්දු ඉෂ්ඨ කරන්නේ නැතුව එකින් එක මගහරින්න පටන් ගන්නකොට.
සමහර පොරොන්දු අපේ හාමුදුරුවනේ නිකන් කිව්වේ නැති ගාණට හැසිරෙන්නේ ආණ්ඩුව.
එක වෙලාවක ආණ්ඩුව කියනවා අපි IMF එකත් එක්ක සාකච්ඡා කරලා ජනතාවට සහනයක් දෙන්න පුළුවන් විදියට හදනවා කියලා. හැබැයි අද වෙනකොට අපි දකින්නේ IMF එකත් එක්ක තියා අඩුම ගානේ මේ රටේ නීතිඥ සංගමය එක්කවත්, අඩුම ගානේ ත්‍රෛනිකායික මහා නායක හාමුදුරුවන්ටවත් ඇහුම්කන් දෙන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ නෑ.
පසුගිය දිනවල අවස්ථා දෙකක් මහා නායක හාමුදුරුවන්ගේ ඉල්ලීම් පැහැර හැරියා. එක වෙලාවක මහජන අනුදැනුමකින් තොරව පත්වීම් කරනකොට ඇහුම්කන් දීලා කරුණු දක්වනවා නම් වෙනම කාරණයක්. ඊට පසු වර්තමානයේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ හැම කාරණයකදීම ආණ්ඩුව මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම් නොසලකා හැර කටයුතු කරනවා.
අද මේ රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්නය, අසීමිත බදු බරක්, බදු පිට බදු ප්‍රතිපත්තියක් වැඩි කරන ප්‍රතිපත්තියක් ආණ්ඩුව අනුගමනය කරන්නේ. දෛනික ආදායම් උත්පාදනය කරන දෙමාපියන්ට, තරුණයන්ට මාසය අවසානයේ පඩිය අතට ගන්නකොට, දවස අවසානයේ කුලිය අතට ගන්නකොට මහන්සියට සරිලන ආකාරයේ ආදායමක් අතට ලැබෙන්නේ නැත්නම්, මාසෙම වැඩ කරත් අවසානයේ පඩි ගන්න කෙනාටත් දෛනික ආදායම ගන්න කෙනාටත් ව්‍යාපාරයක් කරන කෙනාටත් ඉතිරියක් නැත්නම් සතුටින් ඉන්න පුළුවන් රටක් හදනවා කියලා බලයට ආපු අයගෙන් මේ රටේ ජනතාවට තව මොනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
මට පේන්නේ සතුටින් ඉන්නේ නම් අපේ හාමුදුරුවනේ 159 දෙනයි ජනාධිපතිතුමයි විතරයි. පෝසත් වෙලා තියෙන්නෙත් ඒ 159 යි ජනාධිපතිවරයයි විතරයි. වරායෙන් පන්නපු කන්ටේනර් දිහා බැලුවම, ජනාධිපති ලේකම්වරයා කන්ටේනර් පන්නලා වැරදිකාරයෙක් වෙච්ච කෙනෙක්. කන්ටේනර් පන්නලා පුරුද්දක් තියෙන කෙනෙක් ජනාධිපති ලේකම් බවට පත් කරගත්තේ ඒ ලේකම්වරයා ලව්වා තමන්ට අවශ්‍ය කන්ටේනර් ටික දිගින් දිගටම පන්නන්නද? අපි බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා තමන්ගේ ජනාධිපති ලේකම්වරයා පිළිබඳව ගන්න ක්‍රියාමාර්ගය.
අවුරුදු දෙකක් අපි බලන් හිටියා මේක යට ගහන්නේ ඇයි කියලා. අවුරුදු දෙකක් අපි බලන් හිටියා ජනාධිපතිවරයා හොරු අල්ලනවා කිය කියා හැම හන්දියක් ගානෙම කියනකොට ඔහු සද්භාවයෙන්ද මේක කියන්නේ කියලා. අද වෙනකොටත් තමන්ගේ ලේකම්වරයා 2024 කරපු වංචාව හංගගෙන බලාගෙන ඉන්නවා. දැන් අපි තවමත් ජනාධිපතිතුමාට තව ටික කාලයක්, දවස් කීපයක් තියෙනවා. අපි ඇත්තටම බලමු ජනාධිපතිතුමා හොරු අල්ලනවා කියන්නේ සද්භාවයෙන්ද කියලා. එහෙම නැත්නම් තමන්ගේ හොරකම් වහගන්න අවශ්‍ය විදියට තමන් නීති වෙනස් කරන්න ලෑස්ති වෙනවාද කියලා.
තවත් පැත්තකින් මුදල් අමාත්‍යාංශයට ලේකම් කෙනෙක් ගේනවා පාර්ලිමේන්තුවෙන් අයින් කරලා. අපේ හාමුදුරුවනේ ඒ ලේකම්වරයා පත් වෙච්ච දවසේ ඉඳන් හැකර් කෙනෙක් පැනලා සල්ලි උස්සන් යනවා. නේද? ඇහුවම කියන්නේ මොකක්ද, හැකර් පැන්නලු. තමන්ගේ ලේකම්වරයා, තමන්ගේ වේදිකාවේ හිටපු මන්ත්‍රීවරයෙක්ව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කරනවා. කස්ටම් එකෙන් කන්ටේනර් පන්නපු කෙනෙක්ව ජනාධිපති ලේකම් කරනවා. වෙච්ච දවසේ ඉඳන් කන්ටේනර් පන්නනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් වෙච්ච දවසේ ඉඳන් වැරදි ගිණුම්වලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා.පොඩි ළමයි නෙවෙයි මෙයාලා.
රටේ ණය ගෙවන කොට, ණය ගෙවන්න ඕනේ ගිණුම හරියට හොයාගන්න බැරි තරම් බබාලා,ඒ තරම් දැනුමක් නැති අහිංසක, අවබෝධයක් නැති බුද්ධියක් නැති අය. එහෙමත් නැත්නම් හොඳ අවබෝධයෙන් අන්න වචනේ හොඳ අවබෝධයෙන් හොරකම් කරනවා. මටත් හිතෙන්නේ ඒක. මොකද එහෙම නැත්නම් ඉතින් මෙච්චර කාලයක් මේ හොඳට ගිණුම්වලට සල්ලි ගියපු එක දැන් වැරදි එකට යන්න විදියක් නෑනේ.
තමන්ගේ ලේකම් ආවාම.බාල ගල්අඟුරු කියනවා. දැන් අද වෙනකම් බාල ගල්අඟුරු ගෙනාපු සමාගමට විරුද්ධව ගත්තු ක්‍රියාමාර්ගය මොකක්ද? අපි දැක්කද?
අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවකින් දීපු වන්දිය ගන්න ආණ්ඩුව මහන්සි වෙන්නේ නෑනේ. ඇයි ඒ? ඒක ඔබතුමන්ලාට තමයි ඒක දෙන්නේ. ඔව්, නැද්ද? ඒකත් අපි ගත්තා කියලා කියයි. දැන් මං දැක්කා එක ඇමතිවරයෙක් කියනවා මත්ස්‍ය සම්පත අඩු වෙලා පරීක්ෂණයක් කරන්න ඕනේ, ඒකටත් රාජපක්ෂලා ලඟට ගිහිල්ලා තියෙන්නේ. හැම එකටම විපක්ෂයට චෝදනා කරනවා.
පසුගිය දිනවල බන්ධනාගාරවල ප්‍රශ්නයක් ඇති වුණා. බන්ධනාගාරවල තියෙන සැබෑ ගැටලුව හොයලා ඒකට විසඳුමක් දෙන්නේ නැතුව ඒ ප්‍රශ්නෙත් රාජපක්ෂලා පිට දාන්න උත්සාහ කරනවා නම් ඉතින් එවැනි ආණ්ඩුවකින් වැඩක් තියෙනවාද?
ජීවන වියදම එන්න එන්න වැඩි වෙනවා. ගමට යනකොට ගොවියා අපේ හාමුදුරුවනේ කනගාටුවෙන් ඉන්නේ තමන්ගේ අස්වැන්නට නිසි ආදායමක් නෑ කියලා. වී වලට මිළක් නෑ, ගමේ ගොවියාගේ එළවළු පලතුරු වලට මිළක් නෑ. නගර වලට එනකොට නගරයේ මනුස්සයන්ට සාධාරණ මිළකට හාල් ටිකක් ගන්න නෑ.
දැන් වී මිළ අසීමිතව වැඩි වෙලා හාල් මිළ වැඩි වෙනවා නම් හිතාගන්න පුළුවන්. දැන් හාල් මිළ වැඩි වෙනවා, වී මිළ අඩු වෙනවා. ගමේ එළවළු මිළ අඩු වෙනවා, නගරයේ එළවළු මිළ වැඩි වෙනවා. දැන් මේ එක පෑන් පාරෙන් ගේම් එක දෙන්න ආවේ, දීලා තියෙන්නේ මිනිස්සුන්ට. පෝර සල්ලිත් නෑනේ. පටන් ගත්තේ පොහොර වෙලාවට, දෙන්නම් කියලා නේද, වෙලාවටත් කලින් පොහොර මුදල් දෙනවා, පොහොර ගන්න වැඩේට බහින්න කියලා. අවසානයේ හිතාමතා සැලසුම් සහගතව ගොවියාට ගහන්න, අස්වැන්න වට්ටලා තමන්ට හිතවත් ව්‍යාපාරිකයෝ කීපදෙනෙක් ලව්වා පිටරටින් හාල්, එළවළු, පලතුරු ගේන්න අවශ්‍ය උපක්‍රමශීලී සැලැස්මක් ආණ්ඩුව ක්‍රියාත්මක කරා. ඒ නිසා වෙලාවට පොහොර ටික දුන්නේ නෑ.
ගොයම් කැපෙන කාලය ලං කරලා හාල් පිටින් ගේනවා. දැන් ගොයම් කැපෙන්න ලං වෙනකොට හාල් පිටින් ගෙනල්ලා වැඩක් තියෙනවාද අපේ අම්මේ? මේ සාමාන්‍ය දැනීමනේ. ගොයම් කැපෙනවා නම් වී ටික එනවා, වී අස්වැන්න නිසි ආකාරයෙන් ලැබෙනවා නම් හාල් පිටින් ගෙනාවොත් වී වල මිළ අඩු වෙනවා කියන එක අහන්න දෙයක් නෙවෙයි. හැබැයි සැලසුම් සහගතව මේක කරා.
අද වෙනකොට කර්මාන්තශාලා කීයක් වැහිලා තියෙනවාද? ආයතන කීයක් හරවලා ගිහිල්ලා යවලා තියෙනවාද? ආයෝජකයෙක් ලංකාවට එන්නේ නෑ. ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියත් එක්ක ආයෝජනය කරන්නට වඩා ලාභයි වෙන රටක ආයෝජනය කරන එක. ලංකාවේ තියෙන කර්මාන්තශාලා ටික වැහෙනවා දිනෙන් දින. රැකියා අහිමි වෙනවා. උපාධිධාරීන්ට රැකියා නෑ, ගමේ තරුණයන්ට රක්ෂාව නෑ. අඩුම ගානේ, ගමේ දරුවාට, රජයේ රක්ෂාවක් දෙන්න බැරි නම් පෞද්ගලික අංශයේ හෝ ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් හරියාකාරව ලැබෙන විදියට ආයෝජකයෝ ගේන එක ආණ්ඩුවේ වගකීමක්.
ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. ආණ්ඩුවේ න්‍යාය රටේ දරුවාගේ තරුණයාගේ විරැකියා ප්‍රශ්නයට උත්තරයක් හොයන එක. ආණ්ඩුව ඒ ගැන උනන්දුවක් දක්වන්නෙත් නෑ, මහන්සියක් දක්වන්නෙත් නෑ. ව්‍යවසායකයෝ අසරණ වෙලා. කුඩා ව්‍යාපාරිකයෝ අසරණ වෙලා. මේ තියෙන පොලී අනුපාතයන්, මේ තියෙන බැංකු පොලී අනුපාතයන්, රජයේ බදු ප්‍රතිපත්තියත් එක්ක කුඩා ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආදායම ලබාගන්න බැරි වෙනවා.
මේවා ගැන අපි කතා කරාම, මේවා ගැන අපි පෙන්නුවාම, අනේ අපේ හාමුදුරුවනේ පහුගිය දවස්වල ඉදන් කටඋත්තර දෙන්න එන්න කියනවා. කොහෙ හරි අහක යන එකෙක්ගේ හොටෙල් එකක්, ගෙදරක්, නේද, මගේ කියල කටඋත්තර දෙන්න එන්න කියනවා. සීඅයිඩී එකෙන් එනවා. සීඅයිඩී. එකෙන් එක එක ගෙවල් වලට එනවා.
අද මහා සංඝරත්නයට අපහාස කරනවා. අපේ නායක හාමුදුරුවෝ රටේ ආගම දහම සංස්කෘතියට හානිය ගැන කතා කරාම ආණ්ඩුව හිතාමතාම උන්වහන්සේලාට පහර දෙනවා.
මේක තමයි ආණ්ඩුවේ සැලැස්ම. ගරුතර මහා සංඝරත්නය, ආගමික නායකයෝ නිශ්ශබ්ද කරන්න, ආණ්ඩුවට එරෙහිව හඬ නඟන සිවිල් සංවිධාන වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් වෙන්න පුළුවන්, දේශපාලනඥයින් වෙන්න පුළුවන්, පක්ෂ වෙන්න පුළුවන්, මේවා නිශ්ශබ්ද කරන්න. හැබැයි අද අපි ගම්වලට යනකොට හැම ගමේම තරුණ තරුණියන්, වැඩිහිටියන් අපේ රැස්වීම් වලට එනවා. ඒ හැම තැනකම වේලාව නොතකා, වර්ෂාව නොතකා, මහා අව් රශ්මිය තියෙන තැන්වල අපහසුකම් පැත්තක තියලා ජනතාව අපේ රැස්වීම් වල අත්වැල් බැඳගන්නවා අපේ හාමුදුරුවනේ. ඒ ජනතාවට විශ්වාසයක් තියෙනවා.
පසුගිය කාලයේ බොරු කියලා, මඩ ගහලා, ඒ විශ්වාසය බිඳින්න උත්සාහ කරා. ජේ.වී.පී. එකේ බොරු වලට, සමහර ජනතාව අපිත් එක්ක කලකිරුණා. ඈත් වුණා, දුරස් වුණා. හැබැයි අද ඒ ජනතාව තේරුම් අරගෙන තියෙනවා වර්තමාන ආණ්ඩුව තරම් ලෝකයේ වෙනත් බොරු කියන කට්ටියක් නැහැ කියලා. අමූ පචකාරයෝ ටිකක් ඉන්නේ. කට ඇරියොත් බොරුවක් කියන්නේ.
අපට රාජාසන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අච්චු ගහලා බෙදුවේ. ඒක බෙදුවත් හරි ඒකේ තියෙන එකක්වත් කරන්නේ නෑ. මං හිතන්නේ ලංකා දේශපාලන ඉතිහාසයේ මැතිවරණයකට බෙදපු ලොකුම ප්‍රතිපත්ති ප්‍රකාශනය. බෙදුවා බෙදුවාම තමයි.
ඉතින් මේ වගේ අද ජනතාව නොමග යවන, ජනතාව රවට්ටන සුළු දේශපාලන ප්‍රතිපත්තියක් එක්ක මේ ආණ්ඩුව ගමන් කරන්නේ. ඒ හින්දා මගේ ආදරණීය අම්මේ තාත්තේ, අපි අලුත් පරම්පරාවක් එක්ක දේශපාලනය කරන්නේ. ඔබේ දරුවා වෙනුවෙන් අපි දේශපාලනය කරන්නේ. අපි ඔබේ දරුවන්ට ගැලපෙන ප්‍රතිපත්ති හදන්නේ. අද මේ රැස්වීම්වල තරුණ තරුණියෝ විශාල පිරිසක් ඇවිල්ල ඉන්නේ ඒ නිසා. ඔබ හඳුනන, ඔබට පෑහෙන්න පුළුවන්, ඔබට ගනුදෙනු කරන්න පුළුවන්, ඔබේ අනාගතය සුරක්ෂිත කරන්න පුළුවන්, නූතනත්වයේ නවීකරණයේ නූතන ලෝකය එක්ක ගනුදෙනු කරන්න පුළුවන් දේශපාලන බලවේගයක් අපි හදන්න ඕනේ.
වෛරයෙන්, ඊරිසියාවෙන්, කුහකකමෙන්, ක්‍රෝධයෙන්, එකිනෙකා කොටවලා, එකිනෙකා කොටවලා, සමාජයේ භේදබින්න කරලා, චරිත ඝාතනය කරලා, ඒ ඒ දේශපාලන සංස්කෘතිය ගැලපෙන්නේ නෑ අදට. ඒ දේශපාලන සංස්කෘතිය ඉවරයි. ඒවා 88, 89 න් වලදාලා ගියා. ආණ්ඩුව හිතනවා නම් තවදුරටත් චරිත ඝාතනය කරලා, මිනිස්සු බය කරලා, බැනලා, වෛරය පතුරවලා, බොරු කියලා, බොරු කියලා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය අරගෙන යන්න පුළුවන් කියලා ආණ්ඩුවට වැරදිලා.
දැන් බලන්නකෝ, එදා නාමල් කොළුවාගේ ලැම්බෝගිනි 18 ක් බානවා කියලා දැකපු කෙනාගෙම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14 ක් බාලා නේද? ඒකත් මගේද දන්නේ නෑ. හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තෙ.නැත්තම් ඒකත් මගෙ කියයි.මං නම් බොරු කියන්නේ නෑ එයා වගේ. එයා එදා කිව්වා ඒක මගේ කියලා. මම නම් කියනවා එයාගේ නෙවෙයි. හැබැයි එයාට පුළුවන් නම් මං ඉල්ලීමක් කරනවා, එයාට පුළුවන් නම් අපේ හාමුදුරුවනේ, ඒ මැදපෙරදිග අර්බුදයත් එක්ක අපේ වරායවල්, ගුවන් තොටුපළවල් වලට නව වෙළඳපොලක් හැදෙනවා. ඒ හින්දා තමයි ඒ ලැම්බෝගිනි ටික ලංකාව හරහා යන්නේ. අලුත් වෙළඳපොලක් හැදිලා තියෙනවා. ඒ වෙළඳපොල උපරිම පාවිච්චි කරන්න ජනාධිපතිතුමාට මං කියන්නේ.
ඒ වෙළඳපොලේ ලංකාවට පුළුවන් තරම් ප්‍රතිඅපනයනය කරන්න අවශ්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කරලා දෙන්න. රජයේ ප්‍රතිපත්ති ලිහිල් කරන්න ප්‍රතිඅපනයනයට. උපරිම සහයෝගය දෙන සමාගම් වලට එන්න කියලා, මැදපෙරදිගින් බිඳෙන ඈත් වෙන වෙළඳපොල අපිට ගේන්න. අපි අනුර කුමාර මහත්තයාගේ ලැම්බෝගිනි 14 ක් බාලා ඔන්න බලන්නකෝ මේ කොළුවා ලැම්බෝගිනි පදිනවා කියලා කියන්නේ නෑ. ඒ පටු දේශපාලනය අපි ගාව නෑ. එයා එදා එහෙම කිව්වත් මම කියන්නේ නෑ.
හැබැයි අපි ජනාධිපතිතුමාට කියන්නේ මේක පාවිච්චි කරන්න, මේ වෙළඳපොල. අලුත් වෙළඳපොලක් ලංකාවට ඇතිවෙනවා. මේකෙන් අලුත් රැකියා උත්පාදනයක් වෙනවා තරුණ පරම්පරාවට. ඒ විවෘත මානසිකත්වයෙන් මේක දිහා බලන්න. ඒ සඳහා සූදානම් වෙන්න. ඒ වගේම කුඩා තේ වතු හිමියා, දෛනික ආදායම් උත්පාදනය කරන අය, දළු කඩන අය, වගා කරන අයගේ ආදායම ශක්තිමත් කරන්න අලුත් වෙළඳපොලක් හොයාගන්න. ඒකට මේ භාණ්ඩ ටික යවන්න. අසීමිත බදු ගන්න එපා මේ මිනිස්සුන්ගෙන්. රාජ්‍ය ආදායම වැඩි කරගන්න අවශ්‍ය වෙළඳපොල නිර්මාණය කරගන්න, තියෙන වෙළඳපොලේ ඉන්න මේ රටේ ඉන්න මිනිස්සුන්ට අසීමිත බදු ගහන්නේ නැතුව. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදමු.
ඒක තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි ජේ.වී.පී. එකයි අතර වෙනස. අපි නූතනත්වය, නවීකරණය හැම අභියෝගයක්ම හැම අවස්ථාවක්ම අපේ රටට වාසිදායක ලෙස පරිවර්තනය කරන්න පුළුවන් නවීන දැක්මක් එක්ක දේශපාලනය කරන බලවේගයක්. අන්න ඒ සඳහා ඔබ තමුන්නාන්සේලා ඒකරාශී වෙන්න, අත්වැල් බැඳගන්න කියන ආරාධනය කරමින්, ඔබට සිරුරුත සුබ අනාගතයක් පතමින්, තෙරුවන් සරණ පතමින් මම නතර වෙනවා.