Home Local News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් කෙරේ...

News Room : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තොරතුරු දැනගැනීමේ පනතට යටත් කෙරේ – එරාන් වික්‍රමරත්නගෙන් විප්ලවීය තීරණයක්! ~

0
0
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මින් ඉදිරියට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතට (RTI) යටත් වන බවත්, මහජනතාව ඉල්ලන තොරතුරු ලබාදීමට පියවර ගන්නා බවත් ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න පවසයි. පසුගිය පාලන සමයේ පැවැති ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් මෙම නව තීරණය ගෙන තිබේ.

පසුගිය ක්‍රිකට් පාලක මණ්ඩලය තමන් තොරතුරු දැනගැනීමේ පනතට යටත් නොවන බව පවසමින් මහජනතාව ඉල්ලූ තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බව පෙන්වා දුන් එරාන් වික්‍රමරත්න, එම ආකල්පය දැන් මුළුමනින්ම වෙනස් කර ඇති බව ප්‍රකාශ කරයි. ක්‍රිකට් ආයතනයේ පාලනය සහ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැක සංකා දුරුකිරීම සඳහා ඉහළ පාරදෘශ්‍යභාවයක් අවශ්‍ය බවත්, තොරතුරු ප්‍රසිද්ධියේ ලබාගත හැකි නම් මෙවැනි චෝදනා සහ ගැටලු බොහොමයක් මතුනොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම පරිවර්තන ක්‍රියාවලිය යටතේ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය, පාලන ව්‍යූහය සහ නිසි සුදුසුකම් ලත් පුද්ගලයන් සුදුසු තනතුරුවල සිටින්නේද යන්න පරීක්ෂාවට ලක්කෙරේ. පාර්ශවකරුවන් රැසක් සමග සාකච්ඡා කර සකස්කරන ලද නව ව්‍යවස්ථාව මේ වන විටත් රජයට භාරදී ඇති අතර, එය අමාත්‍ය මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වන්නේ දේශපාලන බලපෑම්වලින් තොර යහපාලනයක් තහවුරු කිරීමයි.

එමෙන්ම පාසල් මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම, ක්‍රීඩාංගණ සහ පුහුණු පහසුකම් දියුණු කිරීම පිළිබඳව ද අවධානය යොමුකර ඇත. මෙම ප්‍රතිසංස්කරණ සඳහා කුමාර් සංගක්කාර, සිදත් වෙත්තිමුණි සහ රොෂාන් මහානාම වැනි හිටපු ප්‍රකට ක්‍රීඩකයන්ගේ දායකත්වය ලැබෙන බව එරාන් වික්‍රමරත්න පවසයි.

ජාතික කණ්ඩායම් තේරීම් කටයුතුවලට දේශපාලනඥයන්ගේ හෝ පරිපාලකයන්ගේ කිසිදු බලපෑමක් නොවන බව තහවුරු කළ ඔහු, ඉදිරියේදී ශ්‍රී ලංකාවට වැඩි ටෙස්ට් තරග ප්‍රමාණයක් ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කරන බව ද සඳහන් කළේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here