මොනරාගල දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෙනරත් කියාසිටියේ, අදාළ පරීක්ෂණය ආරම්භ කිරීම සඳහා බලධාරීන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, දීර්ඝ කාලයක් තිස්සේ අතහැර දමා තිබූ මෙම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නැවත ආරම්භ කර නිමකිරීමටද පියවර ගනිමින් සිටින බවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ගමුව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි පාලේකන්ද වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා එහි පැවැති වැව් බැම්ම කඩාදමා ඇත්තේ 2020 මැයි මාසයේදීය.
මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මුලින් රුපියල් මිලියන 82.2 ක් ඇස්තමේන්තු කර තිබූ අතර, පසුව එය රුපියල් මිලියන 167.26 දක්වා සංශෝධනය කර ඇත. රජය මේ වන විටත් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 70.5 ක් වැය කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
නිල වාර්තාවලට අනුව වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් සියයට 80 ක් අවසන් වී ඇත. පිටවාන සෑදීමේ කටයුතු සියයට 95 ක්ද, වම් සොරොව්වේ කටයුතු සියයට 90 ක්ද අවසන් වී ඇති අතර දකුණු සොරොව්වේ ඉදිකිරීම් තවමත් ආරම්භ කර නොමැත. වැව් බැම්මේ වැඩ කටයුතු අවසන් වී ඇත්තේ සියයට 50 ක් පමණි.
කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් කුමාර කියා සිටියේ, මෑතකදී අදාළ ස්ථානයේ සිදුකළ නිරීක්ෂණයකට අනුව, මෙතෙක් වැයකර ඇති රුපියල් මිලියන 70.5 ක මුදලට සරිලන කිසිදු කාර්යයක් එහි සිදුවී නොමැති බවයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට චෝදනා එල්ල වන මෙම නිධානය සෙවීමේ ජාවාරම වසාගැනීමට මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආවරණයක් ලෙස යොදාගත් බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන බවත්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.
මෙම ව්‍යාපෘතිය වසර හයකට ආසන්න කාලයක් තිස්සේ ඇණහිටීම නිසා තම ජීවනෝපාය සඳහා වැව මත පදනම් වූ ගොවි පවුල් සිය ගණනක් දැඩි ලෙස අසරණ වී සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
ව්‍යාපෘතිය 2022 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණද, රටේ පැවැති ආර්ථික අර්බුදය හේතුවෙන් එහි වැඩ කටයුතු අතහැර දමා තිබූ බව හෙතෙම පැවසීය.
රජය විසින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ලබන වසර අවසාන වීමට පෙර ඉතිරි වැඩ කටයුතු නිම කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.