ඒ අනුව ඉදිරි දිනයකදී ඇයගෙන් අදාළ ප්‍රකාශය ලබාගැනීමට පොලීසිය පියවර ගනිමින් සිටින අතර, මීට අමතරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද ඇයව කැඳවීමට නියමිත බව වාර්තා වේ.
මෙම විමර්ශනවලට අනුව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමේ අරමුණින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් රුපියල් කෝටියක මුදලක් සිරිලිය සවිය අරමුදල් ගිණුමට බැර කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බව හෙළි වී ඇත. අදාළ යන්ත්‍රය චීන රජය විසින් නොමිලේ ලබා දී තිබියදී බැංකුවෙන් ලබාගත් මෙම මුදල් වෙනත් කාර්යයන් සඳහා අවභාවිත කර තිබේ. සිරිලිය සවිය සංවිධානය කළ ලිඛිත ඉල්ලීමකට අනුව මරදාන සහ සුදුවැල්ල ශාඛාවල පවත්වාගෙන ගිය ගිණුම් වෙත මෙම මුදල් හුවමාරු කර ඇති බව බැංකු නිලධාරීන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.
කෙසේවෙතත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සිකුරාදා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී හදිසි හෘද සැත්කමකට භාජනය වී ඇති අතර, සැත්කමෙන් අනතුරුව ඉදිරි සති කිහිපය තුළ ඇයට පූර්ණ ඇඳ විවේකය අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබේ. ඇය මෙලෙස රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් අදාළ ප්‍රශ්න කිරීම පසුව සිදු කිරීමට පොලිසිය තීරණය කර තිබුණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ධුර කාලය තුළ පවත්වාගෙන ගිය මෙම ගිණුමේ අක්‍රමිකතා පිළිබඳ විමර්ශන යහපාලන රජය සමයේදී ආරම්භ කර තිබුණි. රජයේ බැංකුවකින් ලබාගත් රුපියල් මිලියන 10ක මුදලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ මෙහෙයවීමෙන් දැනටමත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සැකකටයුතු කරුණු රැසක් පවතින අතර, මෙම සිද්ධියට අදාළව මීට පෙරද පැය හතරකට අධික කාලයක් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ පුවත තව අයට බලන්න