මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහානායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම දියවඩන නිලමේවරයාද දළදා මාලිගාවේ උරුමයන්හි තාවකාලික භාරකරුවන් පමණක් බවත්, ඔවුන් කිසිසේත්ම එහි අයිතිකරුවන් නොවන බවත් පෙන්වා දෙන ඒ මහතා, විහාර දේවාලගම් පනත සහ පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙලෙස කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩක් නොමැති බව සඳහන් කළේය.
ක්‍රිස්තු වර්ෂ 1687 සිට 1707 දක්වා රජකම් කළ දෙවන විමලධර්මසූරිය රජතුමන් විසින් පූජා කරන ලද මෙම ඓතිහාසික කරඬුව, ඇතැමුන් පවසන පරිදි පිත්තල කරඬුවක් නොවන බවත්, එය ඝන රිදියෙන් නිමවා රන් ආලේපිත කර සකස් කරන ලද අතිශය දුර්ලභ පෞරාණික වස්තුවක් බවත් හෙතෙම පැහැදිලි කළේය.
රජවරුන් විසින් පූජා කරන ලද මෙවැනි ජාතික උරුමයන් සංරක්ෂණය කරනවා වෙනුවට ඒවා ඉවත් කිරීමට කටයුතු කිරීම බරපතළ වරදක් බවද ඔහු පෙන්වා දුන්නේය.
දියවඩන නිලමේවරයා භාරයේ පවතින ප්‍රධාන කරඬුවක් මෙලෙස පිටතින් සකස් කර රැගෙන ඒම තුළින් එහි ආරක්ෂාව පිළිබඳවද බරපතළ සැක සංකා මතුවන බව හිටපු දියවඩන නිලමේවරයා ප්‍රකාශ කළේය.
අතීතයේදී මෙවැනි ශුද්ධ වූ වස්තූන් නිර්මාණය කෙරුණේ දැඩි රාජකීය ආරක්ෂාව මධ්‍යයේ රජවාසල තුළදීම බව සිහිපත් කළ ඒ මහතා, පෞරාණික කරඬුවේ යම් දෝෂයක් පැවතියේ නම් කළ යුතුව තිබුණේ එය ප්‍රවේශමෙන් ප්‍රතිසංස්කරණය කර නැවත තැන්පත් කිරීම බවත්, අලුතින් කිසිවෙකු කරඬුවක් පූජා කළේ නම් කළ යුත්තේ එය මාලිගා කෞතුකාගාරයේ තැන්පත් කිරීම මිස මුල් කරඬුව ඉවත් කිරීම නොවන බවත් පෙන්වා දුන්නේය.
මෙම අර්බුදය කිසිසේත්ම සැහැල්ලුවට නොගත යුතු බව අවධාරණය කළ නෙරංජන් විජයරත්න මහතා, ජාතිය සතු මෙම අමිල උරුමය රැකගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ පටන් මහා සංඝරත්නය ඇතුළු මුළු මහත් බෞද්ධ ජනතාවම එක්ව නැගී සිටිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියේය.
මේ පුවත තව අයට බලන්න