උත්සවයකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, පුද්ගලයන්ට තමන්ගේ පෞද්ගලික ඉඩකඩ තුළදී වාහන සම්බන්ධයෙන් කැමති තීරණ ගැනීමට නිදහස තිබුණද, අනෙක් මිනිසුන්ගේ ජීවිතවල ආරක්ෂාව තහවුරු කළ යුතු මහපාරේදී එම නිදහස අදාළ නොවන බවයි.
“ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෙදරදී මයි කාර්.. මයි පෙට්‍රල් කියන්න පුළුවන්. ඒත් ඒ මානසිකත්වය මහපාරට ගේන්න බැහැ. නීතිය සැමට එකයි,” යනුවෙන් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය. මාර්ග අනතුරක් සිදු වූ විට එහි බලපෑම අනතුරට ලක්වූවන්ට පමණක් නොව, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, පොලිසිය සහ තවත් බොහෝ පාර්ශ්වයන්ටද විඳීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
අනතුරු දෙස හුදකලා සිදුවීම් ලෙස නොබලා, ඒවාට බලපාන ප්‍රධාන හේතු සෙවීම සඳහා අනතුරු වාර්තා, පොලිස් සහ වෛද්‍ය වාර්තා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ දත්ත අධ්‍යයනය කළ බව පැවසූ අමාත්‍යවරයා, පසුගිය කාලයේ සිදුවූ දරුණු බස් රථ අනතුරුවලට ප්‍රධානතම හේතුව වාහනවල පැවති බරපතල යාන්ත්‍රික දෝෂ බව අනාවරණය වූ බවද කීවේය.
ඒ අනුව, මගී ප්‍රවාහන වාහන සඳහා නව නීති මාලාවක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇත:
-මාස 3කට වරක් පරීක්ෂණ: වන්දනා ගමන් හා චාරිකා සඳහා යොදාගන්නා සහ කිලෝමීටර් 5,000කට වඩා ධාවනය වන සියලුම මගී ප්‍රවාහන වාහන සෑම මාස 3කට වරක්ම යාන්ත්‍රික සුදුසුකම් පරීක්ෂාවකට (roadworthiness inspection) ලක් කර සහතිකයක් ලබාගත යුතුය.
– ගරාජ් ලියාපදිංචිය: මේ සඳහා පිළිගත් සහ ලියාපදිංචි කළ ගරාජ් සම්බන්ධ කරගන්නා අතර, පොලිසියට මෙම සහතික පරීක්ෂා කර නීතිය ක්‍රියාත්මක කිරීමට බලය හිමිවේ.
– නව බස් රථ ප්රමිතීන්: මින්පසු ලංකාවට ආනයනය කරනු ලබන්නේ අනුමත ආරක්ෂිත ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදිත මගී බස් රථ පමණි. භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිපදවූ වාහන මගී ප්‍රවාහන බස් රථ ලෙස භාවිත කිරීමට තවදුරටත් ඉඩ නොලැබේ.
අඩු පිරිවැයකින් කළ හැකි කුඩා වෙනස්කම් මගින් පවා මහපාරේ ජීවිත බේරාගත හැකි බැවින්, අනතුරු පිළිබඳ නිරන්තරයෙන් සොයා බලා ප්‍රායෝගික ආරක්ෂිත පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.