අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකාරියගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍රය නමැති භූමිය ඉක්මනින් ලබාගැනීම සඳහා සහාය දැක්වීම වෙනුවෙන්, ජානකී සිරිවර්ධන මහත්මිය විසින් අවස්ථා තුනකදී මෙම රුපියල් මිලියන 70 ක මුදල නාමල් රාජපක්ෂ මහතා වෙත අල්ලස් වශයෙන් ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත. අල්ලස් කොමිසම විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ එම චෝදනාවලට අදාළව සිදුකරන විමර්ශනවලට අනුවය.
එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් ද මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් කොමිසමට අවසර දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියම කරන ලදී.
ජානකී වරකාගොඩ ලෙසද හඳුන්වන ඇය, මීට පෙර 2022 වසරේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ දැවැන්ත මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව සිටි තිළිණි ප්‍රියමාලි නැමැත්තියගේ සිදුවීම්වලට සම්බන්ධ බවට අනාවරණය වීමත් සමගය. කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ලේ පිහිටි කාර්යාලයකදී සිදුකළ එම අත්අඩංගුවට ගැනීම, ගාලුමුවදොර ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිතව තිබූ මෙරට උසම ගොඩනැගිල්ලේ වෙළෙඳ සහ නේවාසික ඒකක අලෙවි කිරීමේ මුවාවෙන් ව්‍යාපාරිකයන්ගෙන් අත්තිකාරම් මුදල් ලබාගනිමින් සිදුකළ වංචා විමර්ශනවල කොටසක් විය. තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය ගනුදෙනු රැසක් ජානකී සිරිවර්ධන සමග එක්ව සිදුකර ඇති බවට දේශපාලනඥ අසාද් සාලි මහතා විසින් ද එකල තොරතුරු හෙළි කර තිබිණි.
ක්‍රිෂ් ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් වන පරීක්ෂණ ආරම්භ වීමත් සමග ජානකී සිරිවර්ධනගේ නාමය ප්‍රබල ලෙස මාධ්‍ය තුළ කතාබහට ලක්විය. මෙම විමර්ශන අතරතුරදී පෑන් ඒෂියා බැංකුවේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා මහෙස්ත්‍රාත්වරයා හමුවේ ලබාදුන් පාපෝච්චාරණයකින්, නාමල් රාජපක්ෂ මහතා සහ ජානකී සිරිවර්ධන අතර පැවති සබඳතා පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරිණි. ඉන්දියාවේ මහදේවන් සමාගම හෙවත් ක්‍රිෂ් ලංකා සමාගමේ මව් සමාගමේ ආයෝජකයන් මෙරට ආයෝජන සඳහා කැඳවාගෙන ඒමේ ප්‍රධාන සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කර ඇත්තේද ඇයයි.
මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ අනුග්‍රාහකත්වයක් ලෙස හඟවමින් ක්‍රිෂ් ව්‍යාපාරිකයන් විසින් රුපියල් මිලියන 70ක මුදලක් හුවමාරු කරගෙන ඇත්තේද මෙම ඉඩම් ගනුදෙනුවට පෙරාතුවය. කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරස්‍ර ඉඩමට අමතරව, හම්බන්තොට වරාය ආසන්නයේ ව්‍යාපෘතියක් ලබාගැනීමටත් කල්පිටිය ප්‍රදේශයේ අක්කර තිහක ඉඩමක් මිලදී ගැනීමටත් රාජපක්ෂවරුන් සමග සම්බන්ධීකරණය කරමින් විශාල කොමිස් මුදල් හුවමාරු කරගැනීමට ඇය මැදිහත් වූ බවට විවිධ වාර්තා පළ විය.
මීට අමතරව යහපාලන රජය සමයේදී ඉන්දීය ප්‍රකෝටිපති මුකේෂ් අම්බානි මෙරටට ගෙන්වා එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් සංවිධානය කිරීමටද ඇය කටයුතු කර තිබිණි.
මේ පුවත තව අයට බලන්න