2011 වසරේ යාපනයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන ක්‍රියාකාරීන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පැවැත්වෙන නඩු විභාගයේදී, එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී තිබේ.
යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන මෙම නඩුව සඳහා මාර්ගගත (Online) සංකල්පය ඔස්සේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට සාක්ෂි දෙමින් ඒ මහතා සඳහන් කළේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස තමන්ගේ ප්‍රධාන වගකීම වූයේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කිරීම පමණක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා:
“ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස මගේ වගකීම රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන සමග සම්බන්ධීකරණය කිරීමයි. භූමියේ සිදුවන ක්‍රියාන්විතවලට සම්බන්ධ වීමක් හෝ උපදෙස් දීමක් මට කරන්න බෑ. මම කරලත් නෑ.”
භූමියේ සිදුවන හමුදා හෝ පොලිස් ක්‍රියාන්විතයන් සඳහා සෘජුව සම්බන්ධ වීමට හෝ ඒවාට උපදෙස් දීමට ආරක්ෂක ලේකම්වරයාට හැකියාවක් නොමැති බවත්, තමන් කිසිවිටෙකත් එවැනි මැදිහත්වීමක් සිදුකර නොමැති බවත් ඒ මහතා අධිකරණය හමුවේ අවධාරණය කළේය.