අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ට එරෙහිව ලබා දී ඇති නිගමනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරයාස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී.
කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන් අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියා කළ බවට තීන්දු කරමින් ලබා දුන් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දෙමින්, එම නිගමනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෙම රිට් පෙත්සම ගොනු කර තිබිණි.
කෙසේ වෙතත්, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව තීරණය කරමින් එය ආරම්භක අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.
මේ පුවත තව අයට බලන්න