Home Local News Room : ලාභ ලබන්න කරන සංගීත ප්‍රසංගවලදී ගීත රචකයන්ට, නිර්මාණකරුවන්ට මුදල්...

News Room : ලාභ ලබන්න කරන සංගීත ප්‍රසංගවලදී ගීත රචකයන්ට, නිර්මාණකරුවන්ට මුදල් ගෙවන්න ඕනෑ.. ~

0
0
මංගල උත්සව, හෝටල් සහ වෙනත් සාමාන්‍ය උත්සව අවස්ථාවලදී ගීත ගායනා කිරීමේදී ගීත රචකයන්ට මෙන්ම සංගීත නිර්මාණකරුවන්ට යම් මුදලක් ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකාවල මේ දිනවල දැඩිව සංසරණය වන එම කටකතා කිසිදු පදනමක් නොමැති ප්‍රබන්ධයක් බව ඔහු පෙන්වා දෙයි.

මෙම කාරණය සම්බන්ධයෙන් තමන් අදාළ පාර්ශ්වයන්ගෙන් කරුණු විමසා බැලූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලංකාව තුළද ක්‍රියාත්මක වන බුද්ධිමය දේපළ නීතිවලට අනුව ඕනෑම ගීතයක නීත්‍යානුකූල අයිතිය හිමිවන්නේ එහි පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාට බව ඔහු පැහැදිලි කළේය. ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් මෑතකදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ ද සිය නිර්මාණ වෙනුවෙන් නිර්මාණකරුවන්ට හිමිවිය යුතු සාධාරණ ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය පිළිබඳවයි.

කෙසේ වෙතත්, අදාළ සංගම් විසින් ඉල්ලීම් කර ඇත්තේ සාමාන්‍ය ජනතාවගේ විනෝදාස්වාද කටයුතු හෝ පෞද්ගලික උත්සව සම්බන්ධයෙන් නොවන බව මෙහිදී අනාවරණය විය. ප්‍රවේශපත් අලෙවි කරමින්, හුදෙක් මුදල් ඉපයීමේ ලාභ අපේක්ෂාවෙන් සංවිධානය කරනු ලබන වාණිජමය සංගීත ප්‍රසංගවලින් ලබන ආදායමෙන් යම් කොටසක් ගීතයේ සැබෑ අයිතිකරුවන්ට හිමිවිය යුතු බව පමණක් එම පාර්ශ්වයන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව, විවාහ මංගල්‍යයකදී, හෝටලයකදී හෝ වෙනත් ඕනෑම සාමාන්‍ය අවස්ථාවකදී ගීතයක් ගායනා කිරීම හේතුවෙන් නීතිමය වශයෙන් මුදල් අයකිරීමක් කිසිසේත්ම සිදු නොවන බව අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් තහවුරු කළේය. සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන අන්දමට මංගල උත්සවයකදීවත් මුදල් නොගෙවා ගීතයක් ගායනා කිරීමට නොහැකි වන පරිදි කිසිදු තහංචියක් පනවා නොමැති බවද, තමන් මේ පිළිබඳව සෘජුවම සොයාබැලූ බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here