මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ, අධිකරණය මගින් ලබාදුන් තීන්දුවට පූර්ණ ගෞරවය දක්වන නමුත්, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇති මෙම ක්‍රියාකලාපය බන්ධනාගාර ආඥා පනත මනාව පිරික්සීමේදී නීති විරෝධී කටයුත්තක් ලෙස පැහැදිලිවම පෙනී යන බවයි.
බන්ධනාගාරගත කිරීමට පෙර සැකකරු හෝ චූදිතයා භාවිත කළ ඇඳුමෙන්ම නැවත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට බන්ධනාගාර රෙගුලාසිවල පැහැදිලිව සඳහන්ව ඇති බව පෙන්වා දුන් ලේඛකාධිකාරී හිමියෝ, බන්ධනාගාර අධිකාරිය ගත් මෙම පියවර අතිශයින් බරපතළ එකක් බව කියා සිටියහ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය, සම්ප්‍රදායික සිරිත් විරිත් මෙන්ම අධිකරණය පිළිගත් ඓතිහාසික නීති පද්ධතිය ද නොසලකා හරිමින් ඥානසාර හිමියන් උපැවිදි තත්ත්වයට පත් කිරීම මුළුමහත් ශාසනයටම සිදුකළ දැඩි අගෞරවයක් මෙන්ම ඉතා අහිතකර පූර්වාදර්ශයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම, රෝම-ලන්දේසි නීතිය මගින් දඬුවම් දීමේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වුව ද, බෞද්ධ නීතිය හා සම්ප්‍රදාය තුළ පවතින්නේ වරද කළ තැනැත්තාට සමාව ලබාදී යහමගට යොමු කිරීමේ මානුෂීය ක්‍රමවේදයක් බව සිහිපත් කළ උන්වහන්සේ, පිළිගත් නීතියට ගරු කරන අතරම මෙම අසාධාරණයට එරෙහිව නෛතික අවශ්‍යතා පිළිබඳ මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බව සඳහන් කළහ.
දේශපාලන මතවාදවලින් බැහැරව මුළුමනින්ම ශාසනික දෘෂ්ටිකෝණයකින් මෙම ගැටලුව දෙස බැලිය යුතු බව අවධාරණය කළ මැදගම ධම්මානන්ද හිමියෝ, ඉදිරියේදී මහා සංඝරත්නය සමග තවදුරටත් සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් ඥානසාර හිමියන් නැවත පැවිදි කරවීමට හෝ පියවර ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කළහ.