යුරෝපා සංගමයේ ජී.එස්.පී. තීරුබදු සහන රෙගුලාසිවලට අනුව, ප්රතිලාභ ලබන රටක් අඛණ්ඩව වසර තුනක් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට අයත් වුවහොත් එම රට ජී.එස්.පී. ලැයිස්තුවෙන් ඉවත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, අදාළ සහනයෙන් ඉවත්වන රටවලට ඒ සඳහා සූදානම් වීම පිණිස වසර දෙකක සහන කාලයක් හිමි වේ. ඒ අනුව, 2026, 2027 සහ 2028 යන වසර තුනේදීම ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස ලෝක බැංකුව මගින් නම් කරනු ලැබුවහොත්, 2030 ජනවාරි පළමුවැනිදා සිට මෙම වෙළෙඳ සහනය මෙරටට අහිමි විය හැකි බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
මෙම වසරේදී පමණක් ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීම දැනට පවතින සහන අහිමි වීමට හෝ නව රාමුව යටතේ යළි අයදුම් කිරීමට බාධාවක් නොවන බවද පැහැදිලි කෙරේ. යුරෝපා සංගමයේ නව ජී.එස්.පී. ප්ලස් රෙගුලාසි ලබන ජනවාරි 01 වැනිදා සිට බලාත්මක වීමට නියමිත අතර, ඒ යටතේ යළි අයදුම් කිරීම සඳහා ශ්රී ලංකාවට 2028 දෙසැම්බර් 31 වැනිදා දක්වා කල් හිමි වේ.
දැනට ප්රතිලාභ ලබන රටවලට නව කොන්දේසිවලට අනුගත වීම සඳහා වසර දෙකක කාලයක් ලබා දී ඇති අතර, එම කාලසීමාව තුළ අදාළ වෙළෙඳ සහන අඛණ්ඩව හිමි වනු ඇත. එහෙත් එම කාලය තුළ නව රෙගුලාසි සපුරාලීමට අවශ්ය පියවර ගනිමින් සකස් කළ ක්රියාකාරී සැලැස්මක් සමග නව අයදුම්පත ඉදිරිපත් කළ යුතු බව අවධාරණය කෙරේ.
විශේෂයෙන්ම නව රෙගුලාසි යටතේ සලකා බලනු ලබන ජාත්යන්තර සම්මුති ලැයිස්තුවට ‘පැරිස් දේශගුණික ගිවිසුම’ සහ ‘එක්සත් ජාතීන්ගේ ජාත්යන්තර සංවිධානාත්මක අපරාධවලට එරෙහි සම්මුතිය’ ද අලුතින් ඇතුළත් කර ඇත. මීට අමතරව මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම් සහ අනෙකුත් ජාත්යන්තර බැඳීම් සම්බන්ධයෙන් ශ්රී ලංකාව දක්වන ප්රගතිය නව සහනය ලබා ගැනීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇත.
මේ අතර, ශ්රී ලංකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ හා ආර්ථික සහයෝගිතාව පිළිබඳ ක්රියාකාරී කණ්ඩායමේ මීළඟ රැස්වීම එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී ජී.එස්.පී. ප්ලස් යටතේ යළි අයදුම් කිරීම සහ අනාගත ආදායම් වර්ගීකරණයන් මෙරට අපනයන ක්ෂේත්රයට එල්ල කළ හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.