මියගිය තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරිවත්තුඩුව, ගල්කන්ද පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර, ඒ ආශ්රිතව මහජන පීඩාවක් හෝ දේපළවලට හානියක් සිදුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව කිරිවත්තුඩුව, මූනමලේ වත්ත 17 වන පටුමගේ පිහිටි නිවසේ සිට ගල්කන්ද පොදු සුසාන භූමිය දක්වා වූ ප්රධාන සහ අතුරු මාර්ගවල වාහන ගමනාගමනයට බාධා වන අයුරින් හා සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ, පෙළපාලි පැවැත්වීම මෙමඟින් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
කහතුඩුව පොලීසිය විසින් අපරාධ නඩු විධාන සංග්රහයේ 106 (1) වගන්තිය ප්රකාරව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව දින 14ක් දක්වා වලංගු වන පරිදි මෙම නියෝගය නිකුත් කර තිබේ.
අනතුරුව කහතුඩුව පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් දේහය තැන්පත් කර තිබූ නිවස වෙත ගොස්, වගඋත්තරකරුවන් පස්දෙනෙකු වෙත එම අධිකරණ නියෝගය කියවා පැහැදිලි කර භාරදීමට පියවර ගෙන ඇත.
මත්ද්රව්ය වැටලීමක් අතරතුර හෝමාගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් එක්දරු පියෙකු වූ ඉෂාර හර්ෂ කුමාර නැමැති මෙම තරුණයා, පසුගිය 25 වැනිදා පොලිස් සිරමැදිරිය තුළදී හදිසියේ රෝගී වූ බව පවසමින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබිණි[. එහෙත් පොලිස් නිලධාරීන් විසින් සිදුකළ අමානුෂික පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට මියගිය අයගේ බිරිඳ සහ ඥාතීන් දැඩි ලෙස චෝදනා කළහ.
අනතුරුව කොළඹ දකුණ ශික්ෂණ රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මොට ආයුධයකින් පහරදීම නිසා ඇතිවූ අභ්යන්තර තුවාල හේතුවෙන් මරණය සිදුව ඇති බවට කරුණු අනාවරණය විය.
ඒ සමඟම සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණු අතර, අදාළ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමටද පියවර ගැනිණි.
මෙම තත්ත්වය හමුවේ අවමංගල්ය උත්සවය අතරතුර උණුසුම් තත්ත්වයක් හෝ විරෝධතා මතු විය හැකි බවට සැලකීමෙන් පොලීසිය මෙම අධිකරණ වාරණ නියෝගය ලබාගෙන තිබේ.
මේ පුවත තව අයට බලන්න