18
ජනතා විමුක්ති පෙරමුණට තරම් නඩු කියන්න අපට සල්ලි නැති නිසා අධිකරණ තීන්දුවට ගරු කර පක්ෂයෙන් ගිය අය නැවත පක්ෂය තුළට ගත් බවත් රැකියාවක්, ව්‍යාපාරයක් නැති දේශපාලන පක්ෂ මේ තරම් රට වටින් සෙනඟ ඇද රැස්වීම් කරන්න සල්ලි හොයන්නේ කෙසේ ද කියා සිතා බැලිය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ශාරතී දුෂ්මන්ත මිත්‍රපාල පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් දුෂ්මන්ත මිත්‍රපාල මහතා ඒ බව පැවසීය. දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහතාගේ දෙවිනුවර නිවෙසේදී පෙරේදා (16) දහවල් පැවති රැස්වීම අමතමින් මිත්‍රපාල මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
දරුවන් මන්දපෝෂණයෙන් සිටියදී අසූචි නැවකට රුපියල් කෝටි එකසියඅනූ දෙකක් ගෙවූ රටක් මේක. ගොඩක් පිටු පෙරළපු ගෝඨාභයගේ පොත අප කියවන්නේ නෑ. මොකද ඔහු මේ රට දාපු අමාරුව අප හොඳට දන්නවා. එයා ද ඒක ලිව්වේ වෙනත් කෙනෙක් ද ලිව්වේ කියා සිතා බැලිය යුතුයි. එයා ජනතාවට පොත් පෙරළලා ජනතාව අමාරුවේ දමා දැන් පොත් ලියනවා. මෙවර ජනාධිපතිවරණයේදී අප රනිල්ට. සමඟි ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට අපේ සහාය දෙන්නේ නෑ. අපටත් ජනාධිපති අපේක්ෂකයෙක් ඉන්නවා. අප එය වෙලාවට ඉදිරිපත් කරනවා. එදා පොහොට්ටුවට ඡන්දය දුන් පිරිස අද යන්නේ කොහේදැයි නොදැන අන්දමන්ද වී සිටිනවා. එම පිරිසට අප නායකත්වය ලබාදිය යුතුයි. රට ගැන අවබෝධයක් නැති, වෙන වෙන අදහස් ඇති පිරිසකට මේ රටේ පාලනය යන්න ඉඩ දෙන්න එපා.
මෙම අවස්ථාව අමතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායක හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර, දෙවිනුවර ආසන සංවිධායක නිලංග හෙන්දාවිතාරණ මහත්වරුන් ඇතුළු තවත් කීපදෙනකු කතා කළ අතර දිස්ත්‍රික් සංවිධායකවරු, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ගන්දර සමූහ – ජයසිරි පේදුරුආරච්චි