39
අප ජීවත් වන්නේ අවුරුදු හැත්තෑවක්, අසූවක් වැනි කාලයක්. මේ කාලයේ අපට ජීවිතයක් අවශ්‍යයි. අපේ ගම්වල ඇතැම් දරුවන් ඉන්නවා. මුහුණේ සිනාපොදක් නෑ. හැඟීම්, දැනීම් නැති මියගිය අය වගේ ඉන්න පිරිසට ජීවිතයක් ගොඩනඟා දෙන්න ඕනෑ නැද්දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු- ආදි සිසු හමුවට එක්වෙමිනි. වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ දී ඉකුත්දා (09) පැවැති හමුවේදී ඒ මහතා මෙසේද කීය.
පාසලේ සිට මේ දක්වා මම රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණ කර ඇති. පාසලේ ‘කථිකෝදය’ සංගමයේ සභාපතිව සිටියේ මම. රටට මොකක්ද වුණේ,වෙමින් තිබෙන්නේ මොකක්ද, අනාගතයේ කළ යුත්තේ මොනවාද ආදී වශයෙන් කතා කර තිබෙනවා. අද මම කතා කරන්නේ ජීවිතය ගැනයි. රැස්වීම් දසදහස් ගණනක් ආමන්ත්‍රණය කර තිබුණත්, ඉතාමත් වැදගත්, ජීවිතයට දැනෙන රැස්වීම මේකයි.
අපි කුඩා කාලයේ සිල් සමාදන් වුණේ මේ නුග ගහ යට. වෙහෙරගල පන්සලේ නායක හාමුදුරුවෝ, රම්බොඩගල්ලේ උපතිස්ස හාමුදුරුවෝ අපට බෞද්ධ ධර්මය ඉගැන්වූවා. අපේ උපන් ගම පිටිසර ආඬියාගම. අප ඉතා කුඩා අවධියේ තඹුත්තේගමට ඇවිත්, පදිංචිව හිටියේ බෝයගොඩ මෝල ඉදිරියේ තිබුණු අඩි 12ක් පමණ පළල, අඩි 20ක් පමණ දිග කටුමැටි ගහපු ගෙදරක. ඒ ගෙදර අයිති මැන්ඩිස් මුදලාලිට. මාසයකට රුපියල් දහයේ කුලියට ඒ ගෙදර නැවතුණා. තඹුත්තේගම ජීවිතය පටන් ගත්තේ ඒ විදියට. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ දක්වා සිටි අවසන් දරුවෝ අපි. මධ්‍ය මහා විද්‍යාලයක් වූ පසු ගණිත සහ විද්‍යා අංශයෙන් ඉගෙන ගත් පළමු දරුවන් අපි. මේ කාලයේ විශාල දේවල් සිදු වී, විශාල කණ්ඩායම් මුණගැසී තිබෙනවා. අපේ ජීවිතය වෙනස් කිරීමට මේ පාසලත්, අපේ ගුරුවරුත් විශාල වෙහෙසක් දරා තිබෙනවා. එවැනි ගුරුවරුන් නොවෙන්නට අප ජීවතුන් අතර නැහැ. ඒ කාලයේ වෙන කෙනකු සඟවාගෙන සිටීම තමන්ගේ ජීවිතයට අනතුරක් බව දැන දැන දරුවන්ගේ ජීවිත රැක ගත් ගුරුවර, ගුරුවරියන් මේ ඉන්නේ.
ඒ නිසයි මම කීවේ,මෙතැන තිබෙන්නේ අපේ ජීවිතය පිළිබඳ කතාවක් කියලා. අප ඉන්නේ රටේ පාලන බලය කවර කණ්ඩායමක් අතට යා යුතුද කියන මැතිවරණයක් අබියස. හිටපු ජනාධිපතිවරයකුගේ බෑනා, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පුතුන් දෙදෙනෙක් සහ මම! මේ තඹුත්තේගම ගමේ. දෙදෙනෙක් කොළඹ රාජකීය විද්‍යාලයේ. තව කෙනෙක් කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ. මම තඹුත්තේගම ගාමිණී විද්‍යාලයේ සහ මධ්‍ය මහා විද්‍යාලයේ. මොන තරම් වෙනස්කම් සහිතවද මේ මැතිවරණයට තරග වදින්නේ කියා තේරුම් ගන්න පුළුවන්. මොන තරම් දේශපාලන වෙනස්කම් සහිත ධාරාවක්ද අප නියෝජනය කරන්නේ? මේ දේශපාලනයට අපව පොලඹවන්නේ අපේ ජීවිතය මිස වෙන කිසිවක් නොවෙයි.
තඹුත්තේගම සී.එම්. ආරියපාල