36
රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වූ දේශපාලන කණ්ඩායම් මෙන් මැතිවරණයෙන් පසුවද විපක්ෂ කණ්ඩායම්ද එක්ව පුළුල් සන්ධානයක් මගින් රට ගොඩනැඟීම සියලුම දේශපාලන පක්ෂවල වගකීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
ලෝකය පිළිගනු ලබන ආර්ථික න්‍යායක් අනුව විපක්ෂය කටයුතු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය මත ගොඩනැඟුණු රට ඒ ආකාරයෙන්ම පවත්වා නොගතහොත් නැවතත් රට කඩා වැටීමකට පත්වන බැවින් මෙවර මැතිවරණය රටේ අනාගතය තීරණය කරන මැතිවරණයක් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී තවදුරටත් අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මහතා මෙසේ ද පැවසීය.
“රට ආර්ථික වශයෙන් කඩා වැටුණු මොහොතේ එය භාර ගැනීමට කටයුතු නොකොට සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් තීන්දු ගත් විපක්ෂ දේශපාලන පක්ෂ සිය පරාජය 2022 වර්ෂයේදීම පෙන්නුම් කරනු ලැබුවා.
දේශපාලන වශයෙන් තමන්ගේ පක්ෂය පෝෂණය කිරීම පසෙක තබා රට වෙනුවෙන් ඉදිරි වර්ෂ පහක කාලය රනිල් වික්‍රමසිංහ මහතාට රට භාරදී සුරක්ෂිත රටක් හා ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට සහාය දැක්වීමත් 2030දී දේශපාලන පක්ෂ වශයෙන් ජයග්‍රහණය කර ගැනීමත් විපක්ෂයේ සියලු පක්ෂවල වගකීම විය යුතුයි.
මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉදිරිපත් වනවා සේම ආණ්ඩුව සමඟ සිටින සියලු දේශපාලන පක්ෂ එක් කරගනිමින් ඉදිරියේදී පුළුල් සන්ධානගත වීමක් සිදුකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බවත් මේ මොහොතේ එතුමන්ට සහාය නොදක්වන කණ්ඩායම්වලටද මැතිවරණය අවසාන වීමෙන් පසුව එම අයටද ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගෙන එකට කටයුතු කිරීමට හැකියාව පවතිනවා.
අරගල හේතුවෙන් අසල්වාසී රටවල්වලට ඇති වූ තත්ත්වය මෙරට ඇති නොවීම සඳහා සියලුම දෙනාට පුළුල් සන්ධානයක් මගින් කටයුතු කළ හැකියි.
රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වා රට ගොඩනැඟීමට කටයුතු කරන්නේ නම් එය කිසිදු දේශපාලන පක්ෂයකට සිදුකරන විරුද්ධවීමක් නොවන බවත් අස්ථාවර තත්ත්වයෙන් රට ගොඩනැඟීමට ජනාධිපතිවරයාට සහයෝගය දැක්වීමට කටයුතු කළ හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහතුන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විරුද්ධව කටයුතු කිරීම මගින් රට ගොඩනැඟීමට එම පක්ෂයේ නායකයින්ගේ දැඩි අකමැත්ත පෙන්වා දෙන බවද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර අතිරේක