19
මේ අවස්ථාවේ රටට අවශ්‍ය මනුස්සකම දන්නා මානුෂීයත්වයට මුල් තැන දෙන ආණ්ඩුවක් සහ රාජ්‍ය පාලනයක් බවත්, ඒ වෙනුවෙන් රටේ දැවැන්ත වෙනස්කම් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පෙරේදා (13) කොළඹ සිනමන් ලේක් හෝටලයේ පැවති ‘සමගියට 27යි’ වැඩසටහනට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙලෙස ද කීවේය.
“රට තුළ ක්‍රියාත්මක ක්‍රමවේදවල මහා පරිමාණ සංශෝධන සිදු විය යුතුයි. එය ලක්ෂ 220ක් වූ ජනතාවගේ කරපිට බර නොපැටවෙන ආකාරයට ක්‍රියාත්මක විය යුතුයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ලෝකයා සමඟ ගිවිසුම්ගත වන්නේ සාමාන්‍ය ජනතාවගේ හිස මත උපරිම බර පටවලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුමේදී, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සම්පූර්ණ බර පැටවූයේ වැඩ කරන ජනතාව මතයි. වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදල්වලට බලපෑම් කළා. සාමාන්‍ය ජනතාවට බරක් දී බිලියනපතියන් බේරා ගත්තා.
රටෙන් හරි අඩක් දුප්පතුන් වෙලා. රජයවත් ඒ ප්‍රමාණය හරිහැටි දන්නේ නෑ. වෙනත් ආයතන කරන සංගණන හරහා එය දැනගැනීමට ලැබුණා. රටේ පාලකයා රටේ වගකීම භාර ගත් මොහොතේම සංගණනයක් සිදු කර දරිද්‍රතා රේඛාව හඳුනාගෙන කටයුතු කළ යුතුයි. ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පවා විපතට පත්ව ඇති මොහොතක ඒවා දැනගෙන රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළ යුතුයි.
සමගි ජන බලවේගය අයි.එම්. එෆ්. එකත් සමඟ සාකච්ඡා කරනවා. ඔවුන් වරමක් සහිත රජයකට සවන් දෙනවා. එයින් මේ අසීමිත බර තුනී කරනවා. ජනතාව මත පැටවී ඇති මේ බර සහ එයින් ඇති වූ සමාජ ව්‍යසනය කියා නිම කළ නොහැකියි. මේ ජනතාව ගැන ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට අවබෝධයක් නෑ. මේ අය මහ පොළොවේ පය ගසා ජීවත් නොවන නිසා දුක්විඳින ජනතාවගේ වේදනාව ගැන අවබෝධයක් නෑ. මේ නිසා විධිමත් ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු වන්නේ නෑ.”
රක්ෂණ ශ්රියන්ත