Home Politics News Room : අපේ දේශපාලනයේ වරදාන වරප්‍රසාද බාර් පර්මිට් නෑ – විපක්ෂ...

News Room : අපේ දේශපාලනයේ වරදාන වරප්‍රසාද බාර් පර්මිට් නෑ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

0
0

තම දේශපාලනය තුළ වරදාන වරප්‍රසාද බාර් පර්මිට් නැති බවත්, අද වන විට බාර් පර්මිට්වලට වයින් ස්ටෝස්වලට ප්‍රතිපත්ති, ආත්මය පාවා දුන් අය හෙළිදරවු වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. තම ජීවිතයත් ජන්මයත් තුට්ටු දෙකට අලෙවි වන දේශපාලන සංස්කෘතියක් අප රටේ ඇති අතර, මේ ජ⁣රා ජීරණ වූ දේශපාලන සංස්කෘතිය නතර කළ යුතු බවත් මන්ත්‍රීවරුන් ගන්න හෝ ළඟ තබාගන්න සමඟි ජන බලවේගය එකදු රුපියලක් හෝ වැය කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පෙරේදා (15) කොළඹදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමඟ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගිවිසුමකට එළැඹීම සිදු වූ අවස්ථාවේදීය.

යහපාලන ආණ්ඩුවේ තමාට කැබිනට් ඇමැතිකම් ලැබෙන විට තමා එවක ජනාධිපතිවරයාට අගමැතිවරයාට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන ලෙස යෝජනා කළ බවත්, රාජපක්ෂවරුන් ආගම්වාදය ජාතිවාදය ඇවිස්සුවා මිස මෙවැනි දෙයක් නොකළ බවත් පැවසූ ඒ මහතා මෙවැනි ජාත්‍යන්තර ආධාරක සමුළුවක් හරහා ⁣උතුරු නැඟෙනහිර පළාත් දියුණු වන බවත්, ඊට අමතරව ඒ හරහා රටම දියුණු කළ හැකි වුවද අද වන තුරු එවැනි දෙයක් සිදු නොකළ නිසා සමඟි ජන බලවේග රජයක් යටතේ කෙටි කාලයක් ඇතුළත උතුරු නැඟෙනහිර ගොඩනැඟීමට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවද පැවසීය.

පලස්තීන ජනතාව දැවැන්ත ඛේදවාචකයකට මුහුණ දී ඇති මොහොතක මේ ජනතාවගේ අයිතිය වෙනුවෙන් සාමකාමි අයිතිය වෙනුවෙන් තමා පෙනී සිටින බවද, පලස්තීන ජනතවට පහර පිට පහර ගසා මේ ජනතාව විනාශ කරන ව්‍යාපෘතියක ඊශ්‍රායල් රජය කටයුතු කරන බවද, සෙසු පාලකයන් මේ ගැන කතා කරන්න බය වුවත් තමා ඇත්ත ඍජුව කතා කළ බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය. මැදපෙරදිග සාමය ස්ථාපිත කිරීමට මැදිහත්කරුවකු ලෙස සමඟි ජන බලවේග රජය මැදිහත් වන බවත් විපක්ෂ නායකවරයා කීය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රබල අය හිටියත් ඉස්ලාමීය ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආදාහනය සහ භූමදානය යන ගැටලුවේදී උල්ලංඝනය වන විට ඒ කවුරුත් කතා නොකළත් සමඟි ජන බලවේගය මිනිසත්කම වෙනුවෙන් එදවස පෙනී සිටි බවත් වඳ කොත්තු, වඳ පෙති කිය කියා පාලකයන් රට වටේ ජාතිවාදය ඇවිස්සූ බවත් දොස්තර ශාෆි වෙනුවෙන් පවා පෙනී සිටියේ තමා ඇතුළු සමඟි ජන බලවේගය හා සමඟි ජන සන්ධානය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here